Home » මෝර මත්ස්‍යයන්ගේ සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් කල්පිටියේ දී විජය නාවුක ආයතනය අත්අඩංගුවට ගනී

මෝර මත්ස්‍යයන්ගේ සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් කල්පිටියේ දී විජය නාවුක ආයතනය අත්අඩංගුවට ගනී

by sachintha
April 28, 2025 1:12 am 0 comment

වෛද්‍ය සැත්කම්හි මැසීමේ නූල් වශයෙන් භාවිත කරනු ලබන, පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාරයක් සුප් පානයක් වශයෙන් තරු හෝටල්වල භාවිත කරන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක් සහිත මෝර මත්ස්‍යයන්ගේ සිරුරු කොටස් විශාල ප්‍රමාණයක් පසුගිය 24 වැනිදා කල්පිටියේ දී විජය නවුක ආයතනය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බවට සැක සහිත මෝර වරල් කිලෝ ග්‍රෑම් 800ක් සහ මෝර කරමල් කිලෝ ග්‍රෑම් 17ක්, කල්පිටිය මොහොත්තුවාරම දූපතේ දී සැකකරුවන් දෙදෙනෙකු හා ඩිංගි යාත්‍රාවක් ද සමඟින් අත්අඩංගුවට ගෙන, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත. සැකකරුවන් දෙදෙනා කල්පිටිය, තුරඅඩිය පදිංචි වයස අවුරුදු 35ත්, 45ත් පසුවන්නෝ වෙති.

මෙම වැටලීම පිළිබඳව එම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

Òමෙම මෝර වරල් හා කරමල් තොගය දිහා බැලුවම මේවා ඉන්දියාවෙන් නීතී විරෝධී ලෙස ගෙන්වූ ඒවා බවට සැකසහිතයි. මෝර වර්ග තුනක් දකින්නට පුළුවන්. කස, මිණි මුතු සහ පොල් කොළ මෝරා මේ අතර වෙනවා. ඇතැම් මෝර වර්ග මරන්න තහනම්. සිරුරු කොටස් සන්තකයේ තබා ගැනීමත් තහනම්. ඒ නිසා මෙම සිරුරු කොටස් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නාරා ආයතනයෙන් මෝරන් ප්‍රභේද හඳුනාගැනීමේ වාර්තාවක් කැඳවනවා. එම වාර්තාවත් ඉදිරි නීතිමය කටයුතු සඳහා පිටිවහලක් වෙයි.“

හෙට (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලය ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT