ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් හඳුනාගෙන ඇත. මොනරාගල නගරයට ආසන්නව විශාල ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන හරිතවත් මරගල කදුවැටිය ප්‍රදේශයෙන් මෙම සර්පයා සොයා ගෙන තිබේ.
මෙම සර්පයා කොලුබ්‍රිඩේ කුලයේ (Family Colubridae) හාල්දණ්ඩන් නියෝජනය වන ඝනයට (Genus Dendrelaphis) අයත් වේ. දැනට මෙම ඝනයයේ විශේෂ 08ක් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන අතර ඉන් විශේෂ 06ක් අප රටට ආවේණිකය.
මොවුන් සම්පුර්ණයෙන්ම තුරුවාසී ජීවිතයකට හැඩගැසී ඇති දිවාචර සර්පයන් ලෙස හදුන්වා දීමට පුළුවන. ඉතාමත් වේගයෙන් ගමන් කිරීමට හැකියාවක් ඇති මෙම සර්පයන් ගේ වර්ණය එම පරිසරයේ ඇති කොළඅතු පැහැයට ඉතාමත් සමානවේ.
ඒ අනුව 2025 වසරේ දී මෙම සර්ප විශේෂය නම් කර ඇත්තේ ප්‍රවීන උරග හා උභයජීවී විද්වතෙකු වන ආචාර්ය තසුන් අමරසිංහ මහතාගේ නම වීම විශේෂත්වයකි. ඔහු විසින් උරග සහ උභයජීවී විද්‍යාව වෙනුවෙන් පුරා දශක දෙකක කාලයක් තුළ ලෝකෙට කර තිබෙන පර්යේෂණ වෙනුවෙන් මෙම ඇගයීම සිදු කර ඇත.
ඒ අනුව ‘තසුන්ගේ හාල්දණ්ඩා‘ නැතිනම් ‘Dendrelaphis thasuni‘ලෙස ශ්‍රී ලංකාවට මෙම ආවේණික නව සර්ප විශේෂය නම් කර තිබේ.
මේ නව විශේෂය සොයා ගැනීම සදහා මූලිකත්වය ගෙන පර්යේෂණ සිදු කර ඇත්තේ අනූෂ අත්තනගොඩ, ආචාර්ය ඇන්ස්ලම්ද සිල්වා, ජර්මානු ජාතික ආචාර්ය Gernot Vogel, සිතාර් උදයංග, චම්පික බණ්ඩාර, මජින්ත මඩවල, ඇමරිකානු ජාතික ආචාර්ය L. Lee Grismer සහ සුරන්ජන් කරුණාරත්න යන දෙස් විදෙස් පර්යේෂකයන් කණ්ඩායමකි.
මරගල කදුවැටිය ජෛවවිවිධත්වයෙන් ඉතාමත් පොහොසත් වටිනාම පරිසර පද්ධතියකි.ඒ බව තහවුරු කරගැනීමට එම පරිසර පද්ධතියෙන් වාර්තාවන ශාක සහ සතුන් හොදම උදාහරන වේ.
මෙම හුදකලා කදුවැටියේ ක්ෂීරපායින්, මිරිදිය මසුන්, සහ පක්ෂීන් විවිධත්වය අතින්ද ඉතාමත් පොහොසත්වේ. විශේෂයෙන් එහි වෙසෙන උභයජීවීන් විශේෂ 18 ක් අතුරින් 05 දෙනෙකුම ශ්‍රී ලංකාවට අවේනික වන අතර උරගයන් විශේෂ 67 දෙනා අතරින් 30 දෙනෙකු ද ශ්‍රී ලංකාවට අවේණිකය. උරග හා උභයජීවීන් ගෙන් විශේෂ 18 ක් IUCN Red List එක අනුව වදවීමේ තර්ජනයට මුහුණපා ඇත.
එපමණක් නොව හදුනා නොගත් නව ජීවීන් විශේෂ බොහොමයක් මෙම වටිනා පරිසර පද්ධතියේ තවදුරටත් ජීවත්වනු ඇතැයි පැවසේ.
මීට අදාළ සම්පුර්ණ ලිපිය මෙතනින් ලබාගත හැකිය…