Home » පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය නගාසිටුවන්න සංඝරත්නයේ සහය ලබා දෙන්න

පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය නගාසිටුවන්න සංඝරත්නයේ සහය ලබා දෙන්න

by chanaka
April 29, 2025 7:10 pm 0 comment

මෙරට පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය කාලොච්තව සංවර්ධනය විය යුතු බවත් ඒ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළුතර බෝම්බවල ශ්‍රි සුබෝධි රාජාරාම මූලස්ථාන මහාවිහාරයේ අද (29) පැවති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ 125 වන සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් සිදු කළ සංඝයාවහන්සේලා හැටතුන් නමක් විෂයෙහි උපහාර පිදීම සහ ගිහි පිංවතුන් කිහිප දෙනෙකු වෙනුවෙන් වු පදවි පිරිනැමීම අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් සිදු කෙරිණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ ඉතිහාසය තුළ බෞද්ධාගම සහ සමාජය අතර මනා බැදීමක් තිබුණා. අපේ ශිෂ්ඨාචාරය, සමාජ සබඳතා ගොඩනැගුණේ බුදු දහමත් සමගයි. අපි රජයක් ලෙස නිර්මාණය කිරීමට යන සමාජය, බුදු දහමේ පදනම වන සාධාරණත්වය, සමානාත්මතාවය, මෛත්‍රිය වැනි ගුණාංග පිරිණු සමාජයක්. බුදු දහමේ දැක්වෙන මේ ගුණාංග ජීවමානයි.

පිරිවෙන් අධ්‍යාපනය, භික්ෂු අධ්‍යාපනය අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ඒ සඳහා විශාල මැදිහත් වීමක් අවශ්‍යයි.

ලෝකය බලාපොරොත්තුවෙන දේ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය සූදානම්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. විද්‍යාව දියුණු වන ලොක්යේ ආගම කියන අවශ්‍යතාව නැතිව යනවා කියලා යුරෝපයේ මතයක් තිබුණා. අද වන විට ඒ මතය බොරුවක් වී තිබෙනවා. භෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි.

ලෝකයේ ඇතිවන අභියෝගවලට මුහුණ දියහැකි පරිදි භික්ෂුන්වහන්සේලාගේ දැනුම ආකල්ප කුසලතා දියුණු විය යුතුයි. ඒ වෙනුවෙන් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍යයි.

ගණිතය, විද්‍යාව, නුතන භාෂා පිළිබඳ ස්වාමීන්වහන්සේලාට ඉගෙන ගන්න අවස්ථා සීමිත බවත්, නවීන විෂයන් අධ්‍යයනයෙන් තොරව නූතන අභියෝග ජයගතහැකි දැයි ප්‍රශ්නයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ මහා නායක පූජ්‍යපාද එගොඩමුල්ලේ අමරමෝලි මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT