උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. ඊට අනුව විභාගය සමත් වූවන්ගේ ලේඛනය සහ විභාගය අසමත් වූවන්ගේ ලේඛනය සමාජගත වී තිබේ. උසස් පෙළ විභාගයේ ජයග්‍රාහකයන්ට අයිතිකරුවෝ රැසකි. ඒ ජයග්‍රහණ සඳහා ඔවුහු අයිතිවාසිකම් කියති.
විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව මෙවර විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 65%කට ආසන්න ප්‍රමාණයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළ හැකිය. ඉතිරි 35% සඳහා විකල්ප ක්‍රියාමාර්ග සකස් කළ යුතුව ඇත. ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ප්‍රතිඵලය වෙනුවෙන් කිසිවකුත් ඉදිරිපත් වී නොමැත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යනු, මෙරට විභාග අතර ඉතාමත් තීරණාත්මක විභාගයකි. මේ ශ්‍රී ලාංකේය පාසල් සිසුවා, පාසල් පද්ධතිය තුළ මුහුණ දෙන අවසාන විභාගය වේ. මින් අනතුරුව පාසල් ශිෂ්‍යභාවය අහෝසි වන අතර මෙම විභාගයෙන් සමත් වන අය රටේ උසස් අධ්‍යාපනය සඳහා මාවත් විවර කර ගනිති. වෙනත් ලෙසකින් කිවහොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත් සුදුස්සන් තෝරා සමාජගත කිරීම සිදු කරනුයේ උසස් පෙළ විභාගයෙනි.
කෙසේ නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරන ආකාරයට ශ්‍රී ලාංකේය පාසල් පද්ධතියේ පළමු වසරට ඇතුළත් වන සිසුන් සිය දෙනකු ගතහොත් ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනුයේ දෙදෙනෙක් පමණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විවිධ කඩඉම් විභාග සහ තවත් විවිධ හේතුසාධක නිසා ඔවුහු අතරමඟ අධ්‍යාපනය හැරයෑමේ ප්‍රවණතාවක් පවතී. කාලාන්තරයක් මුළුල්ලේ අප විසින් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිස පමණක් ඉලක්ක කොට ගනිමිනි. විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ බහුතර ප්‍රජාව වෙනුවෙන් මෙතෙක් කලක් නිශ්චිත වැඩසටහනක් සකස් වී තිබුණේ ද යන්න ගැටලුවකි.
මෙවර විභාගයෙන් වුව ද 65%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුව ද ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට උරාගැනීමේ හැකියාවක් නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් ද බහුතරයකට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනීමේ හැකියාව අහිමිව යෑමේ ප්‍රවණතාවක් පවතී. ඉතාමත් සරලව කිවහොත් මෙපමණ කාලයක් අප විසින් නඩත්තු කොට ඇත්තේ බහුතර ප්‍රජාවකට අසාධාරණය සිදු කරන අධ්‍යාපනික ක්‍රමවේදයකි.
උසස් පෙළ විභාගයෙන් තෝරාගත් ශිෂ්‍ය ප්‍රජාව එහි තීරණාත්මක, බුද්ධිමය ස්තරය බව අවිවාදිත කාරණයකි. නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ කොතරම් නම් පිරිසක් උසස් පෙළ විභාගයෙන් අසමත් වී ඇති ද යන්න සොයා බලා නැත. ඔවුන්ට එසේ වූයේ ඇයි ද යන්න විමසා බලා නැත. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබා, උසස් පෙළ විභාගයෙන් අසමත් වන්නේ ඇයි ද යන මනෝවිද්‍යාත්මක සාධකය විමසා බලා, එයට විසඳුම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කළහොත් තවත් බුද්ධිමය සමාජ ස්තරයක් මෙරටට දායාද කිරීමට හැකිවනු ඇත.
මේ වනවිට අධ්‍යාපනයේ විකල්ප අවස්ථා රැසක් නිර්මාණය වී තිබේ. විදේශීය විශ්වවිද්‍යාල හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ජාලයක් ද online අධ්‍යාපනය හරහා තවත් අධ්‍යාපනයේ ඉහළට යෑමේ ඉඩකඩ ද නිර්මාණය කරදී තිබේ. මේ සියල්ල ප්‍රමිතිගත නියාමනයකට ලක්කොට සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් සමත් වූවන්ට මෙන්ම අසමත් වූවන්ට ද සමාජ සාධාරණය ඉටු කරන ක්‍රමවේදයක් කඩිනමින් සකස් විය යුතුව ඇත.
එසේ නැති නම් ජයග්‍රාහකයන්ට පමණක් සාධාරණය ඉටුකරන හා මාවත් විවර කරන අධ්‍යාපනයක් පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එමඟින් අසාධාරණයට ලක්වූවන්ට, පීඩිතයාට හා පරාජිතයාට අත්වන සාධාරණයක් නොමැත. ඔවුනට ජීවිතය ජයගැනීමට සිදු වනුයේ විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ ය. එම නිසා ජයග්‍රාහකයාට යොදන තරම් අවධානයේ අඩුම පංගුවක්වත් විභාගයෙන් අසමත් වූවන්ට සහ ඔවුනගේ මනෝභාවය වෙනුවෙන් යොමු කළ යුතුව ඇත. ඇතැම් විටක සමාජයට තීරණාත්මක දායකත්වයක් දක්වන පිරිස් මෙම අසමතුන් අතර සිටිය හැකිය.
“අතීත පරම්පරාවන් හා තක්කාලීන සමාජය විසින් උකහා ගත් දැනුම ඊළඟ පරම්පරාවට පවරා දීමේ ක්‍රියාවලිය” අධ්‍යාපනය ලෙස මාක්ස්වාදී ඉගැන්වීම්වල පිළිගැනේ. මෙහි අදහස, අධ්‍යාපනය ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් විය යුතු බවයි. එය පුද්ගලයාගේ වැඩ ජීවිතයත්, ආධ්‍යාත්මික ජීවිතයත්, භෞතික ශරීරයත් යන තුනටම ප්‍රයෝජනවත් වන සම්පූර්ණ මිනිසකු නිර්මාණය කිරීම අරමුණු කරගත් එකකි.
එම නිසා ශ්‍රී ලාංකේය අධ්‍යාපනය තුළ විභාගවලින් සමත් වන පිරිස් මෙන්ම විභාගවලින් අසමත් වන පිරිස් ද උකහා ගෙන එවන් වූ සම්පූර්ණ මිනිසකු සමාජගත කිරීමේ වැඩපිළිවෙළකට මූලිකත්වය තැබිය යුතුය. ඉතාමත් සරලව කිවහොත් පද්ධතිය තුළින් තෝරාගත් ජයග්‍රාහකයන් මෙන්ම පරාජිතයන්ගේ දැනුම් පද්ධතිය ද සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව අවබෝධ කොටගත යුතුය. එම නිසා අධ්‍යාපනය නැතිනම් දැනුම ලබා දීම පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ නිශ්චිත පද්ධතිය තුළ ද වැඩබිම, නිෙවස, බන්ධනාගාරය, යනාදී වූ සෑම තැනකම පැවතිය යුතු බව ද, මෙහි අදහසයි. එනම් ගෘහණියට ද, සිරකරුවාට ද, කම්කරුවාට ද සමාජ අධ්‍යාපනයක් අවශ්‍යය. එය විෂය නිර්දේශයෙන් ඔබ්බට ගිය එකක් විය යුතුය. පරිපූර්ණ මිනිසකු නිර්මාණය කරගැනීම සඳහා මූලික පසුබිම සකස් කරගත හැක්කේ එවිට ය.
සියලු සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේද සකස් කිරීම ද අධ්‍යාපනය ප්‍රායෝගිකරණය කිරීමේ වැඩසටහන සකස් කිරීම ද මඟින් අධ්‍යාපනික න්‍යාය සහ ව්‍යවහාරය දෙකම ඉගැන්වීමේ ක්‍රමවේද සකස් වූයේ ඒ අනුව ය. එවන් වූ සම්පූර්ණ මිනිසකු සකස් කිරීම සඳහා වන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම මෙවැනි වැඩසටහනක ප්‍රමුඛතම කාර්යය වේ. අධ්‍යාපනය පූර්ණ මිනිසත් බව විකසිත කිරීමේ මාධ්‍යයක් බවට පත්කරගත හැක්කේ එවිට ය.
විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා ඇති මිනිසකු නිර්මාණය කරගැනීමේ පදනම එයයි.
මේ නිසා අධ්‍යාපනයේ ජයග්‍රාහකයන් අබිසෙස් ගැන්වීම අත්‍යවශ්‍ය කාරණයකි. පරාජිතයන්ගේ මනෝභාවයට සංවේදී වීම ද ඒ හා සමාන වැදගත්කමකින් යුතු කාරණයකි. විභාගයේ අසමතුන්ගේ ලේඛනයට ඇතුළත් වූවන්ට මෙන්ම සරසවි වරම් නොලැබූවන්ට වැඩසටහන් සකස් වන අතර ඔවුන්ගේ ශ්‍රමය ජාතික සංවර්ධනය සඳහා උරාගන්නා ක්‍රමවේදයක් කඩිනමින් සකස් විය යුතුව ඇත. අපේක්‍ෂාභංගත්වයෙන් තොර තරුණ ප්‍රජාවක් නිර්මාණය කරගත හැකි වනුයේ එවිට ය.
වඩාත් ප්‍රමිතිගත හා නියාමනයකින් යුතු අධ්‍යාපන ක්‍රමවේද සකස් කරගැනීමෙන් මේ සඳහා පසුබිම සකස් කරගත හැකිය.
1866 දී අන්තර්ජාතික කම්කරු සම්මේලනය පළමු සමුළුවේ නියෝජිතයන්ට කාල් මාක්ස් යැවූ උපදෙස් සමූහයේ අධ්‍යාපනය ගැන ඉතා කෙටි, නිරවුල් සටහනක් පවතියි.
“අධ්‍යාපනයේ ප්‍රධාන කරුණු තුනකි. බුද්ධිමය, ශාරීරිකමය හා තාක්ෂණිකමය වශයෙනි.” මානසික වශයෙන් මිනිසාගේ සංස්කෘතික හා විද්‍යාත්මක උරුමයන් ඥානනය කරන සමාජ නිෂ්පාදන ක්‍රියාවලියේ වගකීමක් දරන සම්පූර්ණ මිනිසකු බිහි කර ගැනීම සඳහා එකී ප්‍රවේශය වැදගත් බව එහි සඳහන් වේ.
උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයෙන් අනතුරුව අපට යළිත් මෙසේ ලිවීමට සිදුව තිබේ. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය හොඳින් අධ්‍යයනය කර ජයග්‍රාහකයන්ට මෙන්ම පරාජිතයන්ට ද සාධාරණය ඉටුකරන ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතුව ඇත. නැත්නම් ජයග්‍රාහකයන් පිළිබඳව ප්‍රීතිඝෝෂා නඟද්දී පරාජිතයාගේ කම්පිත මනෝභාවය සමාජයට නෑසී යන්නට ඉඩ ඇත. ඇතැම් විටෙක හෙට දවසේ සමාජයට ඉතා වැදගත්ම හා තීරණාත්මක කාර්යභාරය ඉටුකරන තරුණ සමාජ පුරවැසියා මෙකී පරාජිතයන්ගේ ලැයිස්තුවේ සිටිය හැකිය.
විභාගයෙන් ඉතා නිශ්චිතව තෝරා බේරා ගත් උසස් පෙළ විශිෂ්ටයන්ට සාධාරණය ඉටුකරන ක්‍රමවේද සකස් කරන අතරතුරම, අති බහුතරයක් වූ විභාගය අසමත් ලේඛනයේ සිටින සිසුන්ටද ඉදිරි අධ්‍යාපනයේ ඉඩප්‍රස්තා විවර කරන වෘත්තියාභිමුඛ තලයේ වැඩසටහන් සකස් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
පිරිසක් අමතක කර පිරිසකට පමණක් සාධාරණය ඉටුකරන ක්‍රමවේදවලින් පලක් නැත. මන්ද යත් අප ජීවත් වන ජන සමාජය සකස් වී ඇත්තේ ජයග්‍රාහකයන්ගේ සහ පරාජිතයන්ගේ සංකලනයකිනි.