Home » කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව
විවරණ

කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව

by sachintha
April 29, 2025 2:02 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දී ඇති විස්තීර්ණ ණය පහසුකමේ පස්වන (05) වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයෝ සහ මෙරට රජයේ බලධාරීහු මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී රැස්වී සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එය මෙරට ඉතා වැදගත් වූ සාකච්ඡා වට ගණනාවකින් යුක්ත වූවකි. මේ සාකච්ඡාවලින් පසු එළැඹී තීන්දු තීරණ හා ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අයි. එම්. එෆ් දක්වන අදහස් සලකා බලමින් මේ ලිපිය සකස් කෙරිණි.

වර්ෂ 2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති දෙස් – විදෙස් ණය පහසුකම්වලින් හතරෙන් තුනකටත් වඩා යළි ආපසු ගෙවීමට නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ලබා ගත් ණය ගෙවූ රටක් ලෙස අප රට වෙත තිබූ අද්විතීය කීර්තිය පලුදු වීමය.

මෙලෙස එදා වසර 2022 දී අප්‍රේල් 12 වැනිදා රට පත්ව තිබූ තැනින් අද වනවිට අප රට පෙරට පැමිණ ඇති යහපත් තත්ත්වය සසඳා බැලීමේදී විශාල කාර්යභාරයක් හා පරිවර්තනයක් සිදුවී ඇති බව කාහට වුවත් පිළිගත හැකි සත්‍යයකි. රට වැටුණු තැනින් නැවත නඟාසිටුවීමට පසුගිය කාලය තුළ ඉලක්කගත ගමනක් යාමට අප රටට හැකියාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය බිඳවැටීම හා රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය ආදායම් දිනෙන් දින ලැබීම් අඩුවෙමින් මූල්‍ය විනය පිරිහීම නිසා රට ඉහත සඳහන් කළ කනගාටුදායක තත්ත්වයට පත් වූ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

සැබැවින්ම අප රට ඒ අගාධයට ඇදවැටුණා නොව, එතෙක් රට පාලනය කළ පිරිස් සිදු කළ මූල්‍ය අවකළමනාකරණය නාස්තිය, දූෂණය, වංචාවන් ඊට මුල් වූ බව නොදන්නා කිසිවකු ද නැත.

පිළිගත් ක්‍රමවේදය

මේ ආකාරයට ආර්ථිකය බිඳවැටුණු රට, යළි යථා තත්ත්වයට පත්කරලීමට නම්, ලෝකයේ ඕනෑම රටක විදේශ වෙළෙඳාමේ දැඩි හිඟයක් මතුවී අස්ථාවර වීමක් සිදු වුවහොත් ඊට සහායවීමට පවතින අවසාන විසඳුම් සපයන්නා ලෙස සැලැකෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම කළ යුතුම වේ. එදා අප රට ද අනුගමනය කළේ ඒ අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයයි.

2023 මාර්තු 20 වැනිදා වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන තුනක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගැනීමට සමත් විය. දැන් අප රට ඒ මඟ ඔස්සේ ඉදිරියට ගමන් කිරීම ආරම්භ කර තිබේ.

මේ වාතාවරණය යටතේ යළිත් අභියෝග හා අසීරුතා මැද ශක්තිමත්ව නොවැටී පෙරට යෑමට ශ්‍රී ලංකාවට අද බලපෑම් කරමින් සිටියි. මේ අසීරු අභියෝග ජයගැනීම සඳහා අප රට සූදානම් වන මොහොතේදී අමෙරිකානු රජය එහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දැඩි බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් අප රට ඇතුළු රටවල් රැසකට දැඩි බලපෑමක් එල්ල වීම සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

පසුගිය සතිය, සති එකහමාරක කාලය ඇතුළත ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් IMF සහ ලෝක බැංකු ප්‍රධානීහු සමඟ ඵලදායී සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත ඍතු සමුළුව එම දිනවල පැවති අතර, එහිදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෝ මහත් වෙහෙසක් ගෙන මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන පිළියම්, විසඳුම් සඳහා දැඩි වෙහෙසක් දරා කටයුතු කර තිබේ. මේ සඳහා මෙරට රජය නියෝජනය කරමින් අත්දැකීම් බහුල කණ්ඩායමක් එක්කර තිබේ.

එම සාකච්ඡා වටයන් අතරවාරයේ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස ණය අර්බුදයට ලක්ව ඇති රටවල් ඉන් මිදීමට මඟ කතිකා කරන ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස (GSGR) සමුළුවට සහභාගි වූ අතර ණය සම්බන්ධ අභියෝග සහ විසඳුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර පොදු අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා ණයගැති රටවල් සහ ණය හිමියන් පොදු වේදිකාවකට ගෙන ඒමේ අරමුණින් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව පිහිටුවන ලදී. ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි සම සභාපතීත්වය ජා.මූ. අරමුදල, ලෝක බැංකුව සහ G20 රටවල සභාපතීත්වය විසින් දරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගෝලීය ස්වෛරීත්ව ණය ව‍ටමේස සමුළුව ආරම්භයේ සිටම එහි සාකච්ඡාවලට ක්‍රියාකාරිව සහභාගි විය. මෙම වටයේදී, ණය ප්‍රතිව්‍යූහත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගන්නා අතරම, ණය අර්බුදයට ලක්ව ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීමෙන් පසු ණය පැහැරහැරීමේ තත්ත්වය ක්‍රමයෙන් ඉවත් වීම සහතික කිරීම සඳහා ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැවරෙන වැදගත් කාර්යභාරයක් වන අතර ඒ පිළිබඳව මෙරට නියෝජිතයන්ගේ දැඩි අවධානය යොමුව තිබීම සතුටට කරුණකි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට වැඩදායී එකඟතාවකට එළැඹිණි. ඒ සිවු වැනි සමාලෝචනයෙන් පසු තුන්වැනි කාර්යමණ්ඩල එකඟතාවට පැමිණීමය.

බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය සහ ණ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියත් සොයයි. විධායක කමිටු අනුමැතිය ලැබුණොත් පස්වැනි චාරිකය ඩො.මි. 344ක් රජයේ බදු ආදායම පසුගිය වසරේදී සියයට 13.5 දක්වා ඉහළ නංවාගෙන අප්‍රේල් මස අවසන් වනවිට පසු කළ යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල පසුකර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබීම සතුටුදායකය.

තිරසර ආදායම් රැස්කිරීමේ උත්සාහය සහ විචක්ෂණශීලී අය – වැය ක්‍රියාත්මක කිරීම, නව ආදායම් බදු ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ වැදගත්ය.

වැයවන මුදලට විදුලි ගාස්තු

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිවුවැනි සමාලෝචනය සම්බන්ධයෙන් එළැඹි කාර්යමණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලබාගැනීමට නම් විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන විදුලිය ගාස්තුවක් හඳුන්වා දීමට සහ ස්වයංක්‍රිය විදුලි මිල ගැළපුම් යන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට පෙර එකඟවූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිවේදනයක් නිකුත් කර සඳහන් කර තිබුණි.

එය පමණක් ප්‍රමාණවත් නොවන බවත් කාර්යමණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට නම් බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය සහ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව තහවුරු කෙරෙන මූල්‍ය සහතික සමාලෝචනය, ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතු බවත් එම අරමුදල සඳහන් කර ඇත. එය කරුණක් වශයෙන් වැදගත්ය. අර්බුදයෙන් ගොඩඒමේදි පහසුදායක මාර්ගයක් නැත. ඒ සඳහා ඇත්තේ දුෂ්කර මාර්ගයකි. අප රටක් ලෙස එම දුෂ්කර මාර්ගයේ සාර්ථක ලෙස ගමන් කරමින් තිබේ.

ඉහත පියවර සම්පූර්ණ කිරීමෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලැබෙනු ඇති බවත් එවිට පස්වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 344ක මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරෙනු ඇත. ඒ සමඟ ශ්‍රී ලංකාවට මුදා හැර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන1722ක් වනු ඇතැයි ද එම අරමුදල පෙන්වා දෙයි.

විදුලි උත්පාදනයට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යුහාත්මක කඩඉම ශ්‍රී ලංකාව තවමත් පසුකර නොමැති බවත් ඒ හැර අප්‍රේල් මස අවසන් වන විට පසු කළ යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල පසුකර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

එසේම මාර්තු මස අවසන් වනවිට සපුරා ගතයුතු දත්ත ලබා ගැනීමට හැකිවූ ප්‍රමාණාත්මක ඉලක්ක බොහොමයක් ශ්‍රී ලංකාව සපුරා ගෙන ඇති බවත් සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ශක්තිමත් බවත් එම අරමුදල සඳහන් කර ඇත.

මෑතකාලීනව එල්ල වන බාහිර කම්පන සහ ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වෙමින් පවතින වර්ධනය තවමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යම් නිශ්චිතතාවක් ඇති කරයි.

ඉන් මෙරටට බලපෑමක් එල්ල වුවහොත් එයට සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා ගෝලීය අවිනිශ්චිතතා මධ්‍ය‍ෙය් තිබෙන සීමිත මූල්‍ය අවකාශය ආරක්ෂා කරගැනීම සඳහා තිරසර ආදායම් රැස්කිරීමේ උත්සාහය සහ විචක්ෂණශීලී අය-වැය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පඳහන් කර තිබේ.

එහිදී මූල්‍ය අවදානම් අවම කිරීමට සහ මෙරටට අවශ්‍ය විදුලි යටිතල පහසුකම් ලබාගැනීම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමේදී වැය වන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව ද අරමුදලේ අදහස වී තිබේ. ආර්ථික වර්ධනයට ඉඩ සලසන අතරම, මූල්‍ය පිරිවැය සහ දූෂණ අවදානම් අඩු කිරීම සඳහා බදු නිදහස් කිරීමේ රාමුව හොඳින් සැලසුම් කළ යුතුය. දැනටමත් එම ප්‍රවේශය වෙත අප ගමන් කර තිබෙන අතර එය ඇති විය හැකි වාතාවරණයන් කළමනාකරණය කිරීම සඳහා අවස්ථාවකි.

නව ආදායම් බදු ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීමට වන ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ හා සමානව කම්පනවලින් බලපෑමක් එල්ල වුවහොත් ඊට සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩිකරගත් විදෙස් සංචිත හරහා මෙරටට විදේශ විනිමය ගලා එන මාර්ග දිගටම ගොඩනඟාගැනීම ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාවේ අභිලාශකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙන බවත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් ළඟා වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අගැයුමට ලක්ව තිබේ.

2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.2ක් වූ රජයේ බදු ආදායම පසුගිය වසරේදී සියයට 13.5 දක්වා ඉහළ දමාගෙන තිබීම ද අරමුදලේ පැසසුමට හේතු වුණි.

එසේම පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට විදේශ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් මෙරට රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබෙන බවත් එම අරමුදල කියා සිටියි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමට ඉතාමත් ආසන්නයට පැමිණ තිබේ. මෙය දුෂ්කර වුවද ඉදිරියට යා යුතු ගමනකි. අප රට දැන් අපහසු සීමාවෙන් මිදී කෙමෙන් පහසු මඟක් වෙත අවතීර්ණ වෙමින් තිබේ.

මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මනාව භාවිතයට ගනිමින් රටක් ලෙස නැඟීසිටීමට රජය, රජයේ නිලධාරීන්, පොදු මහජනතාව දක්වනු ලබන ප්‍රතිචාරය යහපත් වේ නම්, ආර්ථිකය ද යහපත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT