ස්වයං රැකියාවල නිරත වන්නන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් පහසුවෙන් සහ ඉක්මනින් කිරීම සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ නිපදවන දක්ෂ නිමැවුම් ශිල්පියකු අද අපි හඳුනා ගනිමු.
ඔහු නමින් සංජීව මෙන්ඩිස්ය. කෙසෙල් කඳන්වලින් ෆයිබර් කෙඳි නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් සංජීව මෙන්ඩිස් නිපදවා තිබේ. මේ යන්ත්‍රය මඟින් ඉතා පහසුවෙන් කෙසෙල් ෆයිබර් කෙඳි ලබාගත හැකිය.
සංජීව මහතා පවසන ආකාරයට අපේ රටේ වාර්ෂිකව කෙසෙල් කඳන් ලක්ෂ දොළහමාරක් වැනි ප්‍රමාණයක් අපතේ දමනු ලැබේ. ඔහු විසින් නිමවන ලද යන්ත්‍රය මඟින් එම අපතේ යන සහ කෙසෙල් ගොවීන්ට කරදයක් වී තිබුණු කෙසෙල් කඳන්වලින් පරිසර හිතකාමී ෆයිබර් කෙඳි සෑදිය හැකිය. ඊට අමතරව දියර සහ ඝන කොම්පෝස්ට් පොහොරත් නිෂ්පාදනය කළ හැකිය. මේ නිසා කෙසෙල් වගා කරන සහ අනෙකුත් ගොවීන්ටත් එම ප්‍රදේශවල ජනතාවටත් අමතර ආදායම් මාර්ගයක් උත්පාදනය කළ හැකිය.
කෙසෙල් ෆයිබර් මඟින් විවිධ භාණ්ඩ නිෂ්පදානය කළ හැකි අතර, කාබනික පොහොර නිෂ්පාදනයෙන් කෙසෙල් වගාවට මෙන්ම අනෙකුත් ගොවි කටයුතුවලට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර යෙදිය හැකිය.
සංජීව මෙන්ඩිස් මහතා තවත් නිමවුම් රැසක් කර තිබේ. ඒවායින් කිහිපයක් පහතින් වේ.
ඒ අතර කිසිදු දෑතේ හුරුවක් නොමැතිව මැටි භාණ්ඩ තැනීමට හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ.
සත්ත්ව ආහාර නිෂ්පාදන යන්ත්‍රය: මේ යන්ත්‍රය මඟින් ගොවිපොළවල සතුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදන කළ හැකිය.
පස් ගල් නිපදවන යන්ත්‍රය: මේ යන්ත්‍රය සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍රය මෙන් පස් යොදා ගල් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයකි.
කොළපත්වලින් පිඟන් සහ එවැනි භාණ්ඩ නිෂ්පාදනය කරන යන්ත්‍රයක් සාදා තිබේ.
පහසුවෙන් පුවක් ලෙලි අරින යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.
කැඳ නිෂ්පාදනය කරන යන්ත්‍රයක්: මේ යන්ත්‍රය බ්ලෙන්ඩරයකට සමානකම් කියයි.
අඟුරු කැට නිෂ්පාදනය කරන යන්ත්‍රයක්: බාබකිව් සෑදීමට අවශ්‍ය අඟුරු නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයකි.
මෙවැනි නව නිපැයුම් යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. ඔහු පවසන අන්දමට මේ නිමැවුම් සහනදායි මිලට අලෙවි කරනු ලැබේ. මෙවැනි නිමැවුම්වලට ඔහු අවතීර්ණ වූ ආකාරය මෙසේ පැහැදිලි කළේය.
‘මම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නියැළී සිටියා. ඒත් කොරෝනා වසංගතය හේතුවෙන් පිටරටින් යන්ත්‍රෝපකරණ උපකරණ ගෙන්වීම නවතා දමන්නට සිදු වුණා. මේ නිසා ගම් මට්ටමින් පොඩි පොඩි ස්වයං රැකියාවලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ නිර්මාණය මා ආරම්භ කළා.
ඒ වගේම මේ නිමැවුම් පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සකස් කර මැති ඇමැතිවරුන්‌ට යෝජනා ඉදිරිපත් කළා. ඒත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මම තනිව එම උපකරණ නිෂ්පාදනය ආරම්භ කළා. අද වන විට මා සමඟ තවත් හය හත් දෙනෙකු මගේ ව්‍යාපාරයේ වැඩ කරනවා. අවශ්‍යතාව අනුව නව යන්ත්‍ර මැනුවල් හෝ මෝටර් යොදා නිර්මාණය කර දීමට හැකියි. උදාහරණයකට කෙසෙල් ෆයිබර් තවදුරටත් විකාශනය කළහොත් කඩදාසි, රෙදි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස නූල්, හෑන්ඩ් වූල් වැනි මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කිරීමට හැකියි. ඒත් ඒ සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින කර්මාන්තකරුවන් ඉදිරිපත් විය යුතුයි.Ó
ඔහුගේ මෙම නව නිපැයුම් සඳහා රජයේ කිසිදු ආධාරයක්, ප්‍රාග්ධනය, සහයෝගයක් හෝ උපදෙසක් ලබා නොතිබීම විශේෂ ලක්ෂණයකි. ඔහු නිපදවන ලද මේ යන්ත්‍රෝපකරණ අපේ රටේ ස්වයං රැකියාවල නියුතු කණ්ඩායම් සඳහා හඳුන්වා දී ඒවා අලෙවි කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වන්නේ යැයි ඔහු අප හා පැවැසුවේය.
ඉරෝෂා දීපානි