“අපි කොරෝනා කාලේ ප්‍රතිශක්තියට වදමල් සහ නිල්කටරොළු මල් එහෙම තම්බලා තමයි බිව්වේ. ඒ දවස්වල බොහෝ අය වදමල්වලින් ප්‍රයෝජන ගත්තත්, දැන් වෙනකොට, මල් පිපිලා පරවෙලා වැටෙනවා, අපතේ යනවා. මේ වගේ ඖෂධීය ගුණයෙන් යුතු මල් වර්ගයක් ප්‍රයෝජනයක් නැතිවම විනාශ වෙලා යන එක අපරාධයක්. අපි ඉන්න පැතිවල ඕනෑම තැනැක වදමල් ශාකය තිබෙනවා.
වදමල හෙවත් සපත්තු මල යනු ශ්‍රී ලංකාවේ සුලබව දකින්නට ලැබෙන මල් වර්ගයකි. එහි අලංකාරය පමණක් නොව, එහි මල් සහ පත්‍ර ඖෂධීය ගුණයෙන්ද යුක්ත වේ. විශේෂයෙන් තද රතු පැහැති පෙති ගොන්නකින් සමන්විත කොළ පැහැති පත්‍රවලින් සැරසී ගත් ගෙවත්ත හැඩ කරන පොකුරු වදමල ඖෂධීය ගබඩාවක් බව සඳහන් කළ යුතුය. මැලේසියාවේ ජාතික පුෂ්පය වදමල යි. එසේම ඉන්දියාවේ ද පූජනීය පුෂ්පයක් ලෙස වදමල් සලකනු ලබයි. වදමල රතු, කහ, තැඹිලි හා සුදු වශයෙන් විවිධ වර්ණවලින්ද යුක්ත වේ.
විටමින් A B C, යකඩ, සින්ක්, ඔමේගා 3 ආදී පෝෂක ගණනාවකින් වද ශාකය පොහොසත්ය. අතීතයේ සිටම හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගැනුණු වදවල ඇති රුධිරගත LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව ඇතැයි ද මෑතක දී සනාථ වී ඇත. මේ අනුව වදමල් ශාකයේ අලංකාරිත්වය හා ඖෂධීය ගුණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ හැකිය. මෙවැනි ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකයේ වදමල් යුෂවලින් වදමල් පානය ද, වදමල් ව්‍යාංජනය, වදමල් සම්බෝලය වැනි කෑම බීම සාදාගත හැකිය.
එසේම වදමල් යුෂවලින් ජෙලි, අයිස්ක්‍රීම් හා වදමල් බීම සාදා අලෙවි කරන ව්‍යවසායිකාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ල ග්‍රාමයෙන් හමු විය. ඇයගේ නම චමිලා නිරෝෂණීය. චමිලා නිරෝෂණී මහත්මිය සිය නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කළ ආකාරය ගැන කතාව පැවැසුවේ මෙසේය.
“මම වසර 5 කට කලින් බිම්මල් ව්‍යාපාරය පටන්ගෙන කරගෙන යද්දි තමයි මේ ගැන අදහස ඇවිත් අත්හදා බැලීමක් ලෙස පර්යේෂණය කළේ. බිම්මල් නිෂ්පාදනය සඳහා පිරිසිදුකම ඕනෑ වගේම වදමල් යුෂවලින් නිෂ්පාදනයන් කරන්නත් පිරිසිදුකම ඕනෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා අංශයේ නිලධාරිතුමියගෙන් තමයි මේ නිෂ්පාදන හදන්න මඟ පෙන්වීම හා දිරිගැන්වීම ලැබුණේ.”
“අපි කොරෝනා කාලේ ප්‍රතිශක්තියට වදමල් සහ නිල්කටරොළු මල් එහෙම තම්බලා තමයි බිව්වේ. ඒ දවස්වල බොහෝ අය වදමල්වලින් ප්‍රයෝජන ගත්තත්, දැන් වෙනකොට, මල් පිපිලා පරවෙලා වැටෙනවා, අපතේ යනවා. මේ වගේ ඖෂධීය ගුණයෙන් යුතු මල් වර්ගයක් ප්‍රයෝජනයක් නැතිවම විනාශ වෙලා යන එක අපරාධයක්. අපි ඉන්න පැතිවල ඕනෑම තැනැක වදමල් ශාකය තිබෙනවා. බොහෝ ගෙවල්වල වැටවල්වලට වවලා තිබෙන්නේ වදමල් ශාකය. මගේ නිෂ්පාදනවලට ඒකෙන් වදමල් සපයා ගන්නවා. ඒ වගේම මගේ වත්තෙත් වදමල් ශාකය වගා කරලා තිබෙනවා.”
වදමල් ප්රතිශක්තීකරණය වර්ධනය කිරීමට හේතුවෙනවා මෙන්ම දිනපතා වදමල් පානය මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය මනා ලෙස ක්‍රියාකාරි කර ලෙඩ රෝගවලින් මුදවා ගන්නත් හේතු වෙන බව සඳහන් කළ යුතුය. එමෙන්ම විවිධ ආසාදනවලින් ද මුදවා ගැනීමට හේතු වේ. වදමල්වලින් හිස කෙස් කෙරෙහිද විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව ඉක්මනින් හිස කෙස් වර්ධනයට, හිස් කබලේ රුධිර සංසරණය වැඩි කිරීමට, අකලට හිස කෙස් පැසීම නතර කිරීමට හා හිස කෙස් සිනිඳු කිරීමට හේතුවන ඖෂධයක් ලෙසද වදමල් භාවිත කළ හැකිය.
චමිලා නිරෝෂණී මහත්මිය තමන් වදමල්වලින් නිෂ්පාදනයන් සිදු කිරීමට පෙලඹුණු ආකාරය පිළිබඳව ද මෙසේ සඳහන් කළාය.
“වදමල් උණුවතුරට දාලා තම්බලා එහි රතු පැහැති යුෂ ගතිය තමයි නිෂ්පාදනයට ගන්නේ. ඒ අනුව මම මුලින්ම වදමල් අයිස් ක්‍රීම් එක හැදුවා. ඒකට හොඳ ඉල්ලුමක් තිබුණා. ඊට පස්සේ තමයි වදමල් බීම එක සහ වදමල් ජෙලි එක හැදුවේ. ඒ නිෂ්පාදනත් සාර්ථක වුණා. ඒ වගේම වෙළඳපොළට දැම්මට පස්සේ හොඳ ඉල්ලුමක් ආවා. මේ නිෂ්පාදනවලට කෘත්‍රිම දෙයක් අන්තර්ගත කරන්නෙ නැහැ. මේ සාර්ථකත්වය නිසාම මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය ඉතා කෙටි කලකින්ම ලබා ගන්නත් පුළුවන් වුණා.”
මිනිසාගේ ශරීර උෂ්ණත්වය අඩු කර ඇඟ සිසිල් කරවන අපූරු පානයක් ලෙස ද වදමල් පානය යොදාගත හැකිය.
චමිලා නිරෝෂණී මහත්මියගේ මෙම ව්‍යාපාරය සිය පවුලේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද හේතු වී ඇත. ඒ අනුව ව්‍යවසායිකාවක වන ඇය තම නිෙවස ආසන්නයේම මෙම නිෂ්පාදයන් අලෙවි කරන වෙළඳසලක් ආරම්භ කර ඇත.
“මට පාසල් යන වයසේ ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා හමුදාවේ හිටියේ, එයා දැන් ආබාධිත වෙලා ගෙදර ඉන්නෙ. මේ හේතු නිසා මට ගෙදර ඉඳලාම අලුත් දෙයක් කරන්න ඕනෑ කියන සිතුවිල්ල තිබුණා. මගේ මේ වැඩවලට ළමයි තුන්දෙනා වගේම මහත්තයාත් සහාය වෙනවා. ඇසුරුම් කිරීම, ලේබල් ඇලවීමේ සිට සියලු කටයුතුවලට එයාලා සහාය වෙනවා. ඒක මටත් දිරියක්.”
යනුවෙන් චමිලා නිරෝෂණී මහත්මිය අවසානයේ සඳහන් කළාය.
එම්. තාරික්