අවුරුදු 75ක් පුරා දූෂණ සහ අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල පෙරේදා (27) පැවති ජනහමු අමතමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය. රජය බලයට පත්වී තාම මාස හයක් බවත්, ඉදිරියේදී සියල්ල නිවැරදි කරන්න කටයුතු කරන බවත් අගමැතිනිය කීවාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය. අවුරුදු 75ක් තිස්සේ දූෂණවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය අපි ඉවත් කර තියෙන්නේ. තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂණ, අපරාධවලට රැකවරණයක් නෑ. මේක කරන්න පටන් ගන්නකොට ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවයේත් ඉන්නවා. ආරක්ෂක සේවයේත් ඉන්නවා. මේ සියල්ලම දේශපාලන ආශීර්වාදය එක්ක තමා පවත්වාගෙන ගියේ. දේශපාලන ආශීර්වාදය නැති වුණාම දැන් මේක ඇතුළට හරවලා තියෙන්නේ. ඉතුරු පුරුක් ටිකත් ලිහා ගන්න. ඒක තමයි ඔබ මේ දවස්වල දකින්නේ?
ඒක ප්‍රසිද්ධම සිද්ධීන් දෙකෙන් එකක් තමයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම. ඊට පස්සේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම. ඔබ හිතන්න මීට පෙර පොලිස්පති අත්අඩංගුවට ගත්තා කියලා ඔබ අහලා තිබෙනවද? පාර්ලිමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවකුත් ඒ වෙනුවෙන් පත් කර තියෙන්නේ. අද ඒ කල්ලියෙන් ආරක්ෂා වෙච්ච අයටත් බයක් ඇති වෙනවා.
පැවති ආණ්ඩු පක්ෂයේ කැබිනට් තනතුරු දරපු පිල්ලෙයාන් වැනි අය අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතැනත් මම පුදුම විහිළු සහගත දේවල් දැක්කා. පොහොට්ටුවේ අය කියන විදිහට යුද්ධය දිනලා තියෙන්නේ පිල්ලෙයාන්. නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ විශ්වවිද්‍යාල කුලපතිවරයෙක් අතුරුදන්වීම සම්බන්ධයෙන්.
සූරියවැව ප්‍රාදේශීය සභාව පොළ බද්දක් අය කරනවා කියා කියනවා. බදු හෝ වරිපණම් ගන්නවා නම් ඒක පෙරළා සේවාවක්, පහසුකමක් ලෙස ජනතාවට ලැබෙන්න ඕනෑ. මේ කියන ක්‍රමය ඒක බදු ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. බදු එකතු කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා, ඒ මුදල් එකතු කරගන්නේ වෙනත් කවුරු හරි පුද්ගලයෙක්. ඒ කියන විදිහට එකතු කළ බදුවලින් පොළ හැදුවානම් පොළ හොඳම තත්ත්වයේ තියෙන්න ඕනෑ.
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටි එකොළහක්. ඒ මුදල් ප්‍රාදේශීය සභාවටම යෙදෙව්ව නම් අද සුපිරිම තත්ත්වයේ තියෙන්න ඕනෑ. එහෙම නෑ කියන්නේ ඒ මුදල් කාගේ හරි අතට ගිහින් තිබෙනවා.
පාසල්වල මුදල් එකතු කරන්න එපා කිව්වත් තාමත් ඒක සිද්ධ වෙනවා කියා
අපට පැමිණිලි ලැබෙනවා. අපි ඉක්මනින් ඊට අවශ්‍ය පියවර ගන්නවා.ඒ පැමිණිලි විමර්ශනය කරන්න ප්‍රමාණවත් විමර්ශන නිලධාරීන් නෑ. අපි දැන් අමාත්‍යාංශවල විමර්ශන ඒකක ශක්තිමත් කරන්න කටයුතු කරමින් යනවා. අපි සම්මත කරගත් අය වැයෙන් විශාල මුදලක් වෙන්කර තියෙනවා ගම සංවර්ධනය කරන්න.ගමේ යටිතල පහසුකම්වලට, ගමේ ආර්ථිකය වර්ධනයට, කාන්තාවන්ට තරුණ තරුණියන්ට ස්වයං රැකියා අවස්ථා හදන්න වගේම ගම පිරිසුදු කරන්න.
රජය දැන් ආර්ථිකය ස්ථාවර තැනකට ගෙනත් තිබෙනවා. ඒක ආර්ථික වර්ධනයක් දක්වා ගෙනියන්න ඕනෑ. ආදායම් ඉහළ නංවන තැනකට අපි මේක ගේන්න ඕනෑ.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළා. විභාගය සමත් වූ සියලු දරුවන්ට සුබ පතනවා. අසමත් වූ සමහර ළමයින් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වෙනවා. සමහර දරුවන් වෘත්තීය නිපුණතාවක් ලබා ගන්න කටයුතු කරනවා. සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නෑ.මේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ දරුවන්ට මාර්ගයක් සකස් කර නැහැ. අපේ අලුත් වැඩපිළිවෙළින් සියලු දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් සහිත වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ඒක අපි 2026 ඉඳන් ආරම්භ කරනවායිද පැවසුවාය.
නුවන් කොඩිකාර