Home » අල්ලස් කොමිසමට මම එනවිට මාධ්‍යයට කියන්නේ ඇයි?

අල්ලස් කොමිසමට මම එනවිට මාධ්‍යයට කියන්නේ ඇයි?

-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

by sachintha
April 29, 2025 1:25 am 0 comment

දූෂණ විරෝධී පනත ප්‍රකාරව විමර්ශනයකට මුහුණ දෙන විට සැකකරුවකු වන බැවින් නීතිඥයකු සමඟ පැමිණිය යුතු බව තමා පැවැසුවත්, නීතිඥයකු අවශ්‍ය නොවන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමැති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවැති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ඊයේ (28) ප්‍රකාශයක් දීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“අල්ලස් කොමිෂමේදී මා ප්‍රකාශයක් දුන්නා. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමැති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවැති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප්‍රේල් 10 වැනිදා මා කළ මාධ්‍ය ප්‍රකාශයක් ගැන සහ විමර්ශනයට අදාළ සිද්ධි දාමයට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් සඳහන් කර කරුණු විමසීමට කැඳවා තිබුණා. අවුරුදු සතියේ කොළඹ නොසිටි නිසා එහි පැමිණිය නොහැකි බව මා මුලින් ඔවුන්ට සඳහන් කළා.

මා සිංහල අවුරුදු සමරන නිසාත්, මගේ නීතිඥ මහතා රට ගිහින් සිටි නිසාත් කැඳවා තිබූ දිනයට යන්න නොහැකි වුණා. ආණ්ඩුව සිංහල අවුරුදු සමරනවා දැයි මා දන්නේ නෑ. ඒ බව කියා තිබියදී මට දෙවැනි ලියුමකුත් ආවා. තමා විදේශගතව සිටින බව කියා මගේ නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකුත් එවා තිබුණා. කෙසේ වෙතත් අප්‍රේල් 21 වෙනිදා අල්ලස් කොමිසම නැවත මා වෙත ලිපියක් එවමින් 25 වෙනිදා එන්නැයි කියා තිබුණා. 27 වෙනිදා වෙනතුරු මගේ නීතිඥයා කොළඹ නැතැයි දන්වා තිබියදීත් මට එන්නැයි කීම ගැන මා පුදුමයට පත්වුණා.

මම අප්‍රේල් 21 වෙනිදා දක්වා කොළඹ රැඳී නොසිටින බවට දක්වන හේතුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක් ද කියා වැඩිදුර විමර්ශනය කරන බව ඔවුන් දක්වා තිබුණා. මේ අනුව මම සැකකාරයෙක් බවත්, අපරාධයක් සිදු කර තිබෙන බවත්, ඒ නිසා නීතිඥවරයා මා ළඟ සිටිය යුතු බවත් මම දැනුම් දුන්නා. ඔවුන් පැවැසුවේ නීතිඥයා අවශ්‍ය නොවන බවයි.

25 වෙනිදාත් මට අල්ලස් කොමිසමෙන් ලිපියක් ලැබී තිබුණා. එම ලිපියේ සඳහන්ව තිබුණේ මා අදාළ සිද්ධියට අනවශ්‍ය ලෙස මැදිහත්වීම යන කාරණයයි. ඒ කතාව අනුවත් අපරාධ පරීක්ෂණයකට මුහුණ දෙන්නට තිබෙන නිසා නීතිඥයෙක් අවශ්‍ය බව මම දැනුම් දුන්නා.

මේ ආයතනයට හැමදාම මිනිස්සු කැඳවනවා. මම එන විට පමණක් මාධ්‍යයට දැනුම් දෙන බවත් මම සඳහන් කළා. එහි තිබෙන ලිපිගොනු පිට අයට පෙන්වන එකටත් මම විරුද්ධ වුණා. එම ලිපිගොනු පෙන්වූයේ කාටදැයි කොමිසම මගෙන් ඇහුවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් 11 වෙනිදා මඩකලපුවේදී කළ කතාව මම ඔවුන්ට ගෙන හැර දැක්වූවා. මම අල්ලස් කොමිසමට යැවූ කරුණු ජනාධිපතිවරයා එහි ප්‍රකාශ කර තිබුණා. ‘අල්ලස් කොමිසමට 17 වෙනිදා එන්න කියලා තිබෙනවා. මා දැක්කා අල්ලස් කොමිසමට ලිපියක් එවලා තිබෙනවා අවුරුදු කන බව කියලා.’ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

ඒ කියන්නේ කොමිසමේ ලිපි ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් අරගන්නවා කියන එකද? මේ තත්ත්වය යටතේ මට සාධාරණයක් ඉටුවේ දැයි නොදන්නා නිසා නීතිඥයන් සමඟ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව මම දැනුම් දුන්නා. කොමිසමට දැන්වූ දේවල් ජනාධිපති කතා කරන්නේ කොහොමද? ”

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT