වත්මන් ජනාධිපතිවරයා බලයට පත්ව මාස හතකට වැඩි කාලයක් ගතව තිබුණත් අද වනතුරු අත්අඩංගුවට ගත් හොරෙක් හෝ කළ හොරකම කුමක්ද කියා ජනතාවට පෙන්වා දීමට නොහැකිව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයට ඡන්දය දෙන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් සභාවට යනවා අපි දැක්කා. මේ ප්‍රාදේශීය සභාවෙන් සභාවට යන අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස කියන කාරණා ගැන ජනතාව කිසියම් අවබෝධයකින් සිටිය යුතුයි. මීට පෙර මේ රටේ හිටපු රාජ්‍ය නායකයන් මැතිවරණයකට පෙර ජනතාව අමතමින් කියා සිටියේ ඔවුන් මේ රටේ යුද්ධය අවසන් කළා, මේ රටේ ජලාශ නිර්මාණය කළා, රට සංවර්ධන කළා ආදියයි. නමුත් අනුර කුමාර මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නඩයට අදටත් රැස්වීම්වල ගිහින් කියන්න වෙන්නේ ඔවුන් මේ රටේ හොරකම, වංචාව, දූෂණය නවත්වනවා කියන එක පමණයි. අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති වී මාස හතකට වැඩි කාලයක් ගිහින් තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා අද වනතුරු අල්ලපු හොරෙක් නෑ. කළ හොරකම මොකක්ද කියලා ජනතාවට පෙන්වාදී නෑ. කරුණාකරලා හොරකම් නතර කරනවා කියලා කියන්න පෙර මොකක්ද මේ රටේ වෙලා තිබෙන හොරකම කියන එක ජනතාවට කියන්න. ඔබතුමා මුල සිට ප්‍රකාශ කළ සියලු කතා බොරු කියන එක දැන් ජනතාවට ඔප්පු වෙමින් තිබෙනවා.
ඔබතුමා මේ රටේ ජනතාවට ලාභෙට විදුලි බලය දෙනවා කියලා කියූ බොරුවත් දැන් ඔප්පුවෙලා තිබෙනවා. ඒ වගේම ජනතාවට ලාභෙට ඉන්ධන, ආහාර පාන දෙනවා, ජනතාවගේ පඩි වැඩි කරනවා කියා බොරු පොරොන්දු රාශියක් දී ඒ සියල්ල බොරු බවට පත්කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ රටේ හිටපු නායකයන්ට චෝදනා කළෙත් බොරුවට. බලය ගැනීමට මේ රටට මහා සේවයක් කළ ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයන්ට දුෂ්ට චේතනාවෙන් ඔවුන් හොරකම් කරනවා කියා ජනගත කරන එකයි සිදු කළේ. තවදුරටත් ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොවේ. දැන් මේ රටේ ජනාධිපති. කරුණාකරලා රැස්වීම්වලට ගිහින් හොරු අල්ලනවා, හොරකම් නවත්වනවා කියන එක නොකියා ඔබතුමා රට වෙනුවෙන් කළ වැඩ කොටස කියන්න. තවදුරටත් ජනතාව රවට්ටලා ජනතාවගේ සහ රටේ ආර්ථිකය පහළ දාන්න එපා.”
නුවන් කොඩිකාර