Home » සෞඛ්‍ය සේවාවේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම්

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම්

by sachintha
April 29, 2025 1:20 am 0 comment

සෞඛ්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

නීරෝගි, සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහි කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුව සත්කාර කාර්යයේදී පරිපූරක වෛද්‍ය සේවාවේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන බව ඇමැතිවරයා පැවැසීය.

සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිතයන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාමය අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය.

පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.

මෙතෙක් පැවති රජයන් හා විෂයභාර අමාත්‍යවරුන් වෙත මෙම වෘත්තීය ගැටලු ඉදිරිපත් කළ නමුත් එම ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබුණු හෙයින් වත්මන් අමාත්‍යවරයා වෙත ද එම ගැටලු ඉදිරිපත් කිරීමට සිදුව තිබෙන බව එම නියෝජිතයෝ අමාත්‍යවරයා හමුවේ පවසා සිටියහ.

සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම, පරිපූරක වෛද්‍ය සේවාවේ සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන් සඳහා සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම, සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ “අනුස්තාපන සමායෝජන” යන පුහුණුවේ නාමය “සීමාවාසික පුහුණුව” ලෙස වෙනස් කිරීම, පරිපූරක වෛද්‍ය සේවාවලට අදාළ සේවා ව්‍යවස්ථා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කිරීම, පළමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස්වීම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු යෝජිත කළමනාකරණ පුහුණුව පිළිබඳව පරිපූරක වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණි ලබා දීම කඩිනම් කිරීම, ඇමතුම් රාජකාරි දීමනාව යාවත්කාලීන කිරීම යනාදී ගැටලු ප්‍රමුඛ කර ගනිමින් තවත් ගැටලු රාශියක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට බලපෑමක් ඇති නොවන අයුරින් මෙම ඉල්ලීම් සියල්ල ඉටු කිරීමට කටයුතු කරන බවත් සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරන වෘත්තිකයින්ට බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමෙන් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රජයේ වෘත්තීය චිකිත්සක සංගමය, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය යනාදී වෘත්තීය සංගම් සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික ගමගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන්, අධ්‍යක්ෂවරුන් වන සමන්ත රණසිංහ, ජානකී විදානපතිණ, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරමින් එහි සම කැඳවුම්කරුවන් වන චලිත් අමරදිවාකර, වසන්ත ගුණවර්ධන, ඉරංග අලුත්ගේ, රුවන් නදීශාන් යනාදී මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT