Home » ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම විසි කරයි
මාව අල්ලන්න එපා:

ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම විසි කරයි

by sachintha
April 29, 2025 1:29 am 0 comment

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28) තීන්දු කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් වූ මූලික සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ බව ප්‍රකාශ කරන ලදී. මෙම සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තරම් කරුණු කිසිවක් පෙනී නොයන බව අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේය. මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ පදනමක් හෝ ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව එහි දී සඳහන් කෙරිණ.

ඒ අනුව අදාළ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන ලදී. පෙත්සම්කාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියා සිටින්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවය.

එබැවින් එම අත්අඩංගුවට ගැනීමේ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT