Saturday, May 3, 2025
Home » ජාජබයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර මැතිවරණය අත්හිටුවන්නැයි ‎සජබ අපේක්ෂකයාගේ පෙත්සම් 2කම ඉවතට
කැස්බෑව නගර සභා මැතිවරණය

ජාජබයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර මැතිවරණය අත්හිටුවන්නැයි ‎සජබ අපේක්ෂකයාගේ පෙත්සම් 2කම ඉවතට

by sachintha
April 29, 2025 1:37 am 0 comment

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව නගර සභාව සඳහා තරග කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස සහ එම නගර සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරවම ගාස්තු රහිතවම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) තීරණය කළේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීමට හෝ පෙත්සම් මඟින් ඉල්ලා සිටින සහන ලබාදීමට පදනමක් නොමැත යන පදනම මත මෙම පෙත්සම් ඉවත දමන ලදි.

පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මේ බව ප්‍රකාශ කරන ලදි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවය.

මෙම පෙත්සම මඟින් අභියෝගයට ලක් කර ඇති අපේක්ෂිකාව මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය මැතිවරණ පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මැතිවරණ නීතිය අනුව යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍රයේ කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන අවස්ථාවක එම නාමයෝජනා පත්‍රය නුසුදුසු වන බවය.

මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වෙන දිනයට පෙර වසරක කාලය තුළ අදාළ නගර සභාවේ සේවය කර ඇති අයෙකුට එම සභාවේ සභිකයකු ලෙස තරග කිරීමට ඉදිරිපත් විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

කැස්බෑව නගර සභාව සඳහා තරග කිරීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ නම සඳහන් අපේක්ෂිකාවක් එම නගර සභාවේ සේවය කර ඇති අතර ඇය තරග කිරීමට නුසුදුසු වන බවද ඒ මහතා කීය.

එවැනි අවස්ථාවක අදාළ නාමයෝජනා පත්‍රයම ප්‍රතික්ෂේප කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එසේ තිබියදී අදාළ නාමයෝජනා පත්‍රය භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව මෙම පෙත්සම් ගොනු කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම නාමයෝජනා පත්‍රය භාර දුන් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළේ දැයි විනිසුරු මඬුල්ල එහිදී ප්‍රශ්න කරන ලදි.

තමන් විරෝධතා ඉදිරිපත් කළ නමුත් තේරීම් භාර නිලධාරීවරයා කිසිවක් නොකළ නිසා එය මෙලෙස අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව ද ඒ අනුව මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

තේරීම් භාර නිලධාරීවරයාගේ අමාත්‍යමය කාර්යභාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව පැමිණිලි කළ නොහැකි බව ද විනිසුරු මඬුල්ල එහිදී පෙන්වා දුණි.

යම් අපේක්ෂකයකු කිසියම් කරුණක් මත තරග කිරීමට නුසුදුසුවන්නේ නම් මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් මඟින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.

මැතිවරණ නීතිය අනුව යම් අයෙකු තේරී පත් වීමට නුසුදුසු නම් එය ඡන්ද පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ යුතු බව නඩු තීන්දු සහ නීතිමය විධිවිධාන පෙන්වා දෙමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේය.

සියලු මැතිවරණ නීති අනුව කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

කැස්බෑව නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු වන එම්.ටී. රත්නසිරි ප්‍රනාන්දු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මැතිවරණ කොමිසම එහි සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන්, කැස්බෑව නගර සභාව සඳහා තරග කිරීමට ඉදිරිපත් වී සිටින එස්.කේ.එල්. විලේකා ද අල්විස් ඇතුළු ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

තමන් දීර්ඝ කාලයක් තිස්සේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මහජන සුබසිද්ධිය සඳහා මෙම පෙත්සම ඉදිරිපත් කරන බව පෙත්සම්කරු විසින් සඳහන් කර තිබුණි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැස්බෑව නගර සභාව සඳහා තරග කිරීමට ජාතික ජන බලවේගය විසින් කැස්බෑව නගර සභාවේ නිලධාරිනියක ලෙස 2024 වසරේ ජුනි මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය තෙක් සේවය කළ එස්. කේ.එල්. විලේකා ද අල්විස්ගේ නම එම නාමයෝජනා පත්‍රයේ ඇතුළත් වන බව පෙත්සමෙහි සඳහන් කර තිබුණි.

මැතිවරණ නීතිය අනුව මැතිවරණය පැවැත්වීමට පෙර වසරක කාලයක් තුළ එලෙස නගර සභාවක සේවය කළ අයෙකු එම නගර සභාවේ සභික තනතුරක් සඳහා තරග වැදීමට නුසුදුසු වන බව පෙත්සම මඟින් පෙන්වා දී තිබුණි.

එබැවින් ඇයගේ නම අදාළ නාමයෝජනා පත්‍රයේ ඇතුළත් වීම නීති විරෝධී වන අතර ඒ හේතුවෙන් කාන්තා නියෝජනය සම්පූර්ණ නොවන බවද එම කරුණ මත අදාළ නාමයෝජනා පත්‍රය ද නීති විරෝධී බවට පෙත්සම්කරු සඳහන් කර තිබුණි.

ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍රයේ නම සඳහන් අපේක්ෂකයන්ට මෙම මැතිවරණයේදී කැස්බෑව නගර සභාව සඳහා තරග කිරීමට ඉදිරිපත් වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මඟින් ඉල්ලා තිබුණි.

ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සහ නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා වගඋත්තරකාර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT