Home » සමාජ මාධ්‍ය ජාලා ගිණුම් 5ක් ගැන තොරතුරු සොයා පියවර ගන්න
විනිසුරු ශෂි මහේන්ද්‍රන්ට සමාජ මාධ්‍යයෙන් අපහාස කිරීම:

සමාජ මාධ්‍ය ජාලා ගිණුම් 5ක් ගැන තොරතුරු සොයා පියවර ගන්න

-කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් CIDයට නියෝග කරයි

by sachintha
April 29, 2025 1:37 am 0 comment

අභියාචනාධිකරණයට සහ අභියාචනාධිකරණය විනිසුරු වන ශෂි මහේන්ද්‍රන් මහතාට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපහාසාත්මක අසත්‍ය දැන්වීම් පළ කළැයි කියන සිද්ධියට අදාළ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් පහක් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට නියෝග කළාය.

සිද්ධියට අදාළව අභියාචනාධිකරණ විනිසුරු පසුගිය 16 වැනි දින අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධිමය ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව එම ඒකකය ඊයේ (28) දින අධිකරණයට කරන ලද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

සිද්ධියට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට FB සමාගම meta සමාගම, latform.Inc.lk , meta way, menlo park සහ CA 94021 යන සමාජ මාධ්‍ය ජාලා මඟින් තොරතුරු ලබාගැනීමට අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසට අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අධිකරණයට ඉල්ලීම කරන ලදි.

පසුගිය 16 වැනි දින කොළඹ අභියාචනාධිකරණය සහ එහි විනිසුරුට අපහාස වන ආකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විනිසුරුතුමා පැමිණිලි කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබා දී ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අපහාස වන පරිදි දැන්වීම් පළ කර තිබූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

රාජකාරි කටයුතුවලට සහභාගි වන විනිසුරුවරයාගේ නිල ඇඳුමින් පෙනී සිටින ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය හරහා පළ කර තිබෙන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ සහ බුද්ධි ඒකකය අධිකරණයට කරුණු දැක්වීය.

තවද පැමිණිලිකාරකරු විනිසුරුවරයා ඉදිරියේ මෙම ප්‍රශ්නගත සිදුවීමට අදාළ නඩු කටයුත්ත කිසිදු දිනෙක කැඳවීමක් නොකළ අතර, නඩු කටයුත්තක් එම විනිසුරුවරයා ඉදිරියේ විභාග නොවූ බවත් සඳහන් කර තිබූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ තොරතුරු ලිපියක් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවටද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ජාලා දිගු හරහා මෙලෙස දැන්වීම් පළ කර තිබීම ශ්‍රී ලංකාවේ පවතින අධිකරණ කෙරෙහි මහජනතාව තුළ පවතින ප්‍රසාදය අහිමි කිරීමක් සහ අධිකරණයට කරන අගෞරවයක් බව පැමිණිලිකරු ප්‍රකාශ කළ තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

දණ්ඩ නීති සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළව නඩු ගොනු කරනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලා පිළිබඳ විමර්ශනය කිරීමට නියෝග කළාය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT