Home » කෝටි 1000ක් වටිනා හෙරොයින් කිලෝ 494ක් පුත්තලමේදී විනාශ කරයි

කෝටි 1000ක් වටිනා හෙරොයින් කිලෝ 494ක් පුත්තලමේදී විනාශ කරයි

by sachintha
April 29, 2025 12:38 am 0 comment

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කෝටි 1000ක් වටිනා හෙරොයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම සිමෙන්ති සමාගමේ අධි උෂ්ණත්ව උදුනට දමා ඊයේ (28) විනාශ කෙරිණි.

පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලවීර මහත්මිය ඉදිරියේ මෙලෙස විනාශ කෙරුණේ කොළඹ මහාධිකරණයේ සිට දැඩි ආරක්ෂාව සහිතව රැගෙන ආ හෙරොයින් තොගයකි.

ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 15 දින ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක් සහ ඉකුත් 2022 වසරේ අප්‍රේල් මස 19 දින අත්අඩංගුවට ගත් කිලෝ 243යි ග්‍රෑම් 52ක ප්‍ර‍මාණයක් මෙලෙස සෙල්සියස් අංශක 1300කට අධික දහනයක් යටතේ ක්‍රියාත්මක උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණි.

කොළඹ මහාධිකරණයෙන් භාරගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ ආරක්ෂාව යටතේ කටුනායක අධිවේගි මාර්ගය හරහා පැමිණ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ පුත්තලම පාලවිය පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව වෙත රැගෙන ඒම සිදුවිණි.

විශේෂ ආරක්ෂාව යටතේ එලෙස රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලවීර මහත්මිය ඉදිරියේ කිලෝව බැගින් වූ ඇසුරුම්වලින් ගෙන එය නිසි පරීක්ෂාවකින් පසුව ප්ලාස්ටික් ඇසුරුම්වල බහා ඇත. පසුව එය විශාල විවෘත ප්ලාස්ටික් බැරලයකට දමා සිමෙන්ති සමාගමේ අධි දහන උදුනට ගෙන ගියේය.

එම අවස්ථාවේදී අවට පොලිස් ස්ථානවල නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණි.

ඉන් අනතුරුව පුත්තලම මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා රසපරීක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT