Home » 15 වසරකට පසු කුරුඳුගොල්ලට බස් රථයක්

15 වසරකට පසු කුරුඳුගොල්ලට බස් රථයක්

by sachintha
April 29, 2025 1:10 am 0 comment

අලදෙණියට, කටුගස්තොටට මෙන්ම මහනුවර නගරයට යාමට බස් රථයක් නොමැතිව දැඩි අපහසුතාවකට පත්ව සිටි කුරුඳුගොල්ල ගම්වාසින්ට වසර 15කට පමණ පසු බස් රථයක් ලැබී තිබේ. කුරුඳුගොල්ල ගම්මානයේ වෙසෙන වැඩි පිරිසක් සාදික්කා, කරාබු, ගම්මිරිස් ආදි සුළු අපනයන භෝග වගාවෙන් ජීවිකාව කරගෙන යන අයවළුන් වන අතර කුරුඳුගොල්ලේ සිට මහනුවරට ධාවනය කළ බස් රථය මෙසේ නවතා දැමීම නිසා දරුවන්ට නගරයේ පාසලක් වෙත යාමට, රෝගියෙක් රෝහලකට රැගෙන යාමට තම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන යාමටත් ත්‍රිරෝද රථයක පිහිට පැතීමට සිදුවූ අතර ත්‍රිරෝද රථයකින් ගම ආසන්නයේම පිහිටි අලදෙණිය නගරයට යාමට රුපියල් 250ක් ද තිත්තපජ්ජල රෝහල වෙත යාමට රුපියල් 500ක් වැනි මුදලක් ද ගම්වාසීන්ට වැය කිරීමට සිදු විය.

වසර 15ක පමණ දීර්ඝ කාලයක පටන් මෙසේ බස් රථයක් නොමැතිකම නිසා පීඩාවට පත්ව සිටින ගම්වාසීන් සමඟ එක්වූ සමාජ සේවකයකු වන අසාම් බුර්හාන් මහතා තම ගමට බස් රථයක් ලබාදෙන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට අනුව අමාත්‍යවරයා කුරුඳුගොල්ල ගමට බස් රථයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංගම උතුරු ඩිපෝවෙන් ඉල්ලීමක් කර ඇතත් පවතින ගැටලු කිහිපයක් නිසා දැනට බස් රථයක් ලබාදීමට හැකියාවක් නොමැති බව ඩිපෝව විසින් දන්වා තිබේ. පසුව අමාත්‍යවරයා ගම්වැසියන්ට පවසා ඇත්තේ කුරුඳුගොල්ලේ සිට මහනුවරට පෞද්ගලික බස් රථයක් ධාවනයේ යෙදවීමට හැකි අයෙක් ඉදිරිපත් වෙනවා නම් එම පුද්ගලයාට බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බවයි. ඒ අනුව ගම්වැසියකු බස් රථයක් දැමීමට ඉදිරිපත් වීමෙන් පසු එයට අවශ්‍ය බලපත්‍රය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ලබාදීමට පියවර ගෙන තිබේ.

නවතා දමා තිබුණු කුරුඳුගොල්ල මහනුවර බස් රථය වෙනුවට නව බස් රථය ධාවනය කිරීම ඉකුත් 25 වැනිදා ආරම්භ කළ අතර එම බස් රථය ධාවනය කිරීම ආරම්භ කිරීම නිමිති කරගෙන ගම්වැසියන් විසින් කෙටි උත්සවයක්ද සංවිධානය කර තිබිණ. මෙම බස් රථය කුරුඳුගොල්ලේ සිට මහනුවර දක්වා ගමන් වාර 04ක් ධාවනය වන බවත් ඒ හරහා තම ගමට විශාල සේවාවක් ඉටුවෙන බවද ප්‍රදේශවාසීහු පවසති.

කටුගස්තොට සමූහ – එස්.ජී.විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT