Home » කෝටි ගණනක් යටකළ තඹුත්තේගම විදුලි වැට තවත් සුදු අලියෙක් වෙයිද?

කෝටි ගණනක් යටකළ තඹුත්තේගම විදුලි වැට තවත් සුදු අලියෙක් වෙයිද?

-අලි පෙරළූ විදුලි වැටේ වානේ බට සොරු ගෙනයෑමේ අවදානමක්

by sachintha
April 29, 2025 1:14 am 0 comment

වනඅලි ගම්වැදීම වැළැක්වීම සඳහා මහවැලි එච් කලාපයේ, තඹුත්තේගම නගරයට ඔබ්බෙන් පිහිටි ගම්මාන ගණනාවක් ආවරණය වන සේ ඉදිකොට ඇති විදුලි වැට මුළුමනින්ම අසාර්ථක වී ඇති බව ගැමියෝ පවසති. ඔරුගලයාය, පහේ කෑල්ල, දෙකේ කෑල්ල, අධිරාණිගම, දෙල්ලේගම, තලාකොළවැව ආදී ගම්මාන ගණනාවක් ආවරණය වනසේ මෙම විදුලි වැට ඉදිකොට ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම අලි වැට ඉදිකිරීම සඳහා කෝටි ගණනක් රජයේ මුදල් ප්‍රතිපාදන සහ ග්‍රාමීය මරණාධාර සමිති, ගොවි සංවිධාන ආදියෙන් රැස් කළ මුදල් ද යොදවා ඇති බව ගැමියෝ පවසති. ඒ ඒ ගම්මානවල ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මෙම එල්ලෙන අලි වැට ඉදිකළ බව ඔවුහු පවසති. ඒ සඳහා රජයේ මුදල් ප්‍රතිපාදන මහවැලි අධිකාරිය මඟින් සපයා ඇති බවත්, වනජීවී දෙපාර්තමේන්තුව තාක්ෂණික මඟ පෙන්වීම සිදුකොට ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති. කලවැල්ලෑව ගම්වාසී කේ.බී. හීන්බණ්ඩා මහතා මෙසේ අදහස් දැක්වූවේය.

“අපේ සමිතිවලින් රුපියල් ලක්ෂ ගාණේ එකතු කෙරුවා. රජයේ සල්ලි කෝටි ගාණක් ඉවරයි. අපේ මාස ගාණක ශ්‍රමය. මේ ඔක්කොම දැන් අපතේ. මිනිස්සු ආයෙත් පරණ පුරුදු දුකටම වැටිලා ඉන්නේ. ඇඟේ ලේ නැතිව ඉන්ඩ වෙලා තියෙන්නේ. මේවා මහා පරිමාණ හොරකම්. මේ හැමෝම සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක. මේවා අහන්ඩ කිසිම කෙනෙක් නෑ. ඒක තමයි කරුමේ.”

මෙම අලි වැට පිළිබඳව ගම් මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ කිසිදු වැඩසටහනක් නොපැවැත්වූ බවද ගැමියෝ හෙළි කරති. අලි වැට ඉදි කිරීමෙන් අනතුරුව එහි නඩත්තු කාර්ය මුළුමනින්ම ගැමියන් වෙත පවරා මහවැලි අධිකාරිය සහ වනජීවී දෙපාර්තමේන්තුව නිහඬ වූ බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. විදුලි වැටට සැපයෙන විදුලි ධාරිතාවය ප්‍රමාණවත් නොවන බවද ගැමියෝ පවසති. ප්‍රදේශවාසියෙකු වන කමල් බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වූවේය.

“අලි වැටක් නඩත්තු කරන එක ගම්වල මිනිස්සුන්ට කරන්ඩ පුළුවන් වැඩක් නෙමෙයි. ඒකට දැනුම තියෙන කීපදෙනෙක් රජයෙන් යොදවන්ඩ ඕන. ඔය සිවිල් ආරක්ෂක කට්ටිය එහෙම ඕන තරම් ඉන්නේ. ඒවා මොකුත් නෑ මිනිස්සු ලව්වම අලි වැට ගස්සවලා ඒක බලාගන්න එකත් මිනිස්සුන්ට පවරලා නිලධාරි නිහඬයි. අලි පෙරළපු වැටේ බට දැන් හොරු අරන් යන තැනට කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ.”

නඩත්තුව සඳහා අවශ්‍ය නිසි පුහුණුවක් නොලැබුණු බවත්, ඒ සඳහා වගකිවයුතු නිලධාරින් කිසිවෙකු ඉදිරිපත් නොවුණු බවත් ප්‍රදේශවාසීහු හෙළි කරති. වනඅලි පහර දීමෙන් මේ වන විට විදුලි වැට මුළුමනින්ම අක්‍රිය වී ඇති අතර, බිමට පහත් වූ වානේ බට සොරුන් ගෙන යෑමේ අවදානමට ලක්ව ඇතැයි ද ගැමියෝ පවසති. මෙම පසුබිම තුළ වනඅලි ගම්වැදීම තවදුරටත් උග්‍ර වී අලුයම සහ රාත්‍රී කාලයේ නි‍ෙවසින් බැහැරට යෑම අවදානම්සහගත වී ඇතැයි ද ගැමියෝ පෙන්වා දෙති. අධිරාණිගම ගම්වාසී සුමිත් සිරිමාන්න මහතා මෙසේ පැවසුවේය.

“මේ අලිවැට ගහලා තියෙන්නේ මහ පුදුම විදිහට. අපේ ගම මැදින් තමයි වැට ගහලා තියෙන්නේ. වැට ගහන්ඩ ඕන රක්ෂිතේ කෙළවරින් ගම කොටුවෙන විදිහටනේ. දැන් වෙලා තියෙන්නේ ගම වටේම අලි කැරකෙන එක. මේ වැට ගහන්ඩ කලින් හරිනම් ගමින් ගමට මිනිස්සු දැනුවත් කරන්ඩ ඕන. එහෙම කිසිදෙයක් මෙතැන වුණේ නෑ. ගොවි සංවිධානවල කීපදෙනෙක් මහවැලි කාර්යාලෙට ගෙන්නගෙන වැඩේ පටන් ගත්ත එක තමයි කෙරුවේ. මේ වගේ කෝටි ගාණක වැඩක් කොහොමද එහෙම කරන්නේ.”

ඉකුත් සමයේ වගා හානි මෙන්ම අලි පහර දීමෙන් ගවයින් කිහිපදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූ බව ගොවියෝ පවසති. සමහර ගම්මාන මැදින් ගම දෙකඩ වනසේ අලිවැට ඉදිකොට ඇති බවත් තවදුරටත් වැට ආසන්නයේ හේන් වගා රැකීමට නිදි වර්ජිතව පැල් රැකීමට සිදුව ඇති බවත් ගැමියෝ පවසති. මේ කෙරෙහි කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස ගැමියෝ වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති.

දෙල්ලේගම ගම්වාසී අමිත් රත්නායක මහතා පැවුසවේ මෙවැනි අදහසකි.

“පහුගිය කාලේ අලි ගහලා හරක් කීපදෙනෙක්ම මරුණා. අනිත් එක අලි ගම්වදින හින්දා මිනිස්සු එළියට බහින්නෑ රෑට. ඒකෙන් වුණේ හරක් හොරු බෝවුණ එක. මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අලි වැට පෙනි පෙනී ගස් උඩ පැල් ගහගෙන ගොවිතැන් රකින එක. එල්ලෙන අලි වැට සාර්ථකයි කියලා තමයි කිව්වේ. දැන් කිසිම නිලධාරියෙක් ගම පැත්ත පළාතක එන්නෑ. අපේම සල්ලි අපේ ඉස්සරහා විනාශ වෙන එක මේ වෙන්නේ.”

අප මේ පිළිබඳව මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර උභය කල්‍යාණ කුමාර මහතා වෙතින් විමසූ විට ඔහු පැවසුවේ, මේ පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවත් ඒ පිළිබඳව නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (කෘෂිකර්ම) වෙතින් කරුණු විමසන ලෙසත්ය. ඒ අනුව ඔහු ලබාදුන් දුරකතන අංකයට ඇමතුමක් ලබාදුන්නද ප්‍රතිචාර දැක්වූවේ නැත.

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT