ඊසි කෑෂ් ක්‍රමයට වැලිමඩ, ඌව පරණගම, බණ්ඩාරවෙල හා නුවරඑළිය යන ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදූ සැකකරුවන් 06 දෙනෙකු පෙරේදා (27) පස්වරුවේ සන්තකයේ තිබූ ලක්ෂ 05ක් පමණ විටිනා හෙරොයින් හා ජංගම දුරකතන රාශියක් සමඟ අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි.
අඹගස්දෝව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. මෙම සැකකරුවන් විසින් වැලිමඩ, නුවරඑළිය, ඌව පරණගම, බණ්ඩාරවෙල අතුළු ප්‍රදේශ රැසකට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. මෙම සැකකරුවන්ගෙන් ලත් තොරතුරු මත හෙරොයින් බෙදාහැරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක්ද කැප්පෙටිපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අඹගස්දෝව පොලීසිය සමත්ව තිබේ. මොවුන්ගෙන් ලද තොරතුරු අනුව මාර්ගවල, දුරකතන කණුවල ආදී විවිධ ස්ථානවල සඟවා අලෙවිය සඳහා සකසා තිබූ කුඩා හෙරොයින් පැකැට් 100ක් පමණ ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා දීම සඳහා භාවිත කරන්නට ඇතැයි සැක කරන විවිධ වර්ගයේ ජංගම දුරකතන 13ක්ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
පොලීසිය විසින් සොයාගත් හෙරොයින්වල දළ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 24ත් 40ත් අතර වන නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිමඩ – කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී