Home » ගණිත ගුරුවරයාගේ පහර දීමෙන් ශිෂ්‍යාවක් ගම්පොළ රෝහලේ

ගණිත ගුරුවරයාගේ පහර දීමෙන් ශිෂ්‍යාවක් ගම්පොළ රෝහලේ

by sachintha
April 29, 2025 1:19 am 0 comment

පාසල් පොත් බෑගයේ තිබූ ගණන් පොත එළියට ගැනීමට පමා වුණයි කිපුණු ගම්පොළ පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ ගුරුවරයකු එම පාසලේ දහය වසර ශිෂ්‍යාවකට ලීයකින් කළ පහර දීමක් ඇගේ ඇසට වැදීම නිසා එම ශිෂ්‍යාව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

පුස්සැල්ලාව, රොච්චයිල්ඩ් වත්ත පදිංචි ඇගේ මව වන කේ. මහේෂ්වරි මේ සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව මෙම ශිෂ්‍යාව පන්තියේදී ගණන් පාඩම සඳහා සූදානම්ව ඇති අතර, ඒ සඳහා බෑගයේ තිබූ විශාල පොත් අතරින් ගණන් පොත සොයාගෙන එළියට ගැනීමට පමා වී තිබේ.

මෙයින් කිපුණු ගණිත ගුරුවරයා අතේ තිබූ කෝට්ටෙන් ඇගේ අතට පහරදී ඇති අතර එහිදී එම ලීය ඇගේ ඇසට වැදී තිබේ.

බරපතළ ලෙස ඇස රතු වී ඉදිමීම නිසා එම ගුරුවරයා ඇයට පවසා ඇත්තේ ඇල්වතුරින් ඇස සෝදාගෙන පන්තියේ වාඩිවෙන ලෙසයි. ඒ සමඟම ගුරුවරයා පන්තියෙන් පිටව ගොස් ඇති අතර, ක්ලාන්ත තත්ත්වයට පත් ශිෂ්‍යාව දුටු පන්තිභාර ගුරුවරිය ඇගේ රෝගයේ නරක තත්ත්වය දැක වෙනත් ගුරුවරයකු දුන් මුදලද රැගෙන ත්‍රිරෝද රථයකින් ඇය පුද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගොස් තිබේ.

ඒ වන විටත් ගුරුවරුන් කතාකර ගත් පරිදි මෙම ශිෂ්‍යාවට ගැහුවා කියා නොකියා බිම ඇද වැටීම නිසා ඇසට හානි වී ඇති බව පවසා බෙහෙත් ලබා ගැනීමට උත්සාහ කළත්, එම ස්ථානයෙන් පවසා ඇත්තේ රජයේ රෝහලකට දරුවා රැගෙන යන ලෙසයි.

මේ අතර මෙම සිද්ධිය දැනගත් දරුවාගේ මව සිද්ධිය පුස්සැල්ලාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය මැදිහත්වීමෙන් එම ශිෂ්‍යාව ගම්පොළ ශික්ෂණ රෝහලට යවා තිබේ.

මීට පෙරද මෙම පාසලේ ශිෂ්‍යයකුගේ හිසේ විදුලිපංකාවක් වැදී බරපතළ තත්ත්වයෙන් හිස කැපී සිටියද මොවුන් විසින් එම සිසුවාගේ රුධිරය සෝදා පැය එකහමාරක් පමණ සිසුවා පාසලේ තබාගෙන රෝහලට ගෙන ගොස් ඇති අතර, එම සිසුවා මිය යාම සමඟ ප්‍රදේශවාසීන් පාසල අසල විශාල උද්ඝෝෂණයක්ද සිදු කරන ලදි.

සිද්ධිය පිළිබඳව පුස්සැල්ලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT