Home » එන්එස්එල් අවසන් සිවුදින සටනේදී නිම්සර දඹුලු පිල අමාරුවේ දමයි

එන්එස්එල් අවසන් සිවුදින සටනේදී නිම්සර දඹුලු පිල අමාරුවේ දමයි

-පළමු ඉනිමේදී කඩුලු 5ක් අතැතිව ලකුණු 216ක් පසුපසින්

by sachintha
April 29, 2025 1:02 am 0 comment

නිම්සර අතරගල්ලගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට දඹුලු ක්‍රීඩකයෝ අසීරු තත්ත්වයකට පත්ව සිටියේ පළමු ඉනිමේදී ලකුණු 154කට කඩුලු 5ක් අහිමි වීම හේතුවෙනි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ ඊයේ පළමු ඉනිම නිමා කළේ ලකුණු 370ක් රැස් කරමිනි. ඒ අනුව දඹුලු පිල කඩුලු 5ක් අතැතිව දඹුලු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 216ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය දෙවැනි දිනයට නතර කරන විට විසාඩ් රන්දික ලකුණු 18ක් සහ චමිඳු විජේසිංහ ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

දඹුලු ඉනිමට අර්ධ ශතකයකින් සාර්ථක ආරම්භයක් දුන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 65ක් රැස් කළේ පන්දු 95කදී හතරේ පහර 9ක් සමඟිනි. සම්මු අශාන් ලකුණු 35ක් රැස් කළ අතර, රොන් සහ සම්මු තෙවැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කළහ.

දඹුලු ඉනිමේ බිඳ වැටුණු කඩුලු 5න් හතරකටම හිමිකම් කීමට නිම්සර අතරගල්ල සමත් වූයේ ලකුණු 50ක් පමණක් ලබා දෙමිනි. ඔහුගේ පළමු පෙළ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 57කට කඩුලු 5ක් ලෙසිනි.

ගාලු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඕෂද ප්‍රනාන්දු පෙරේදා ලකුණු 52ක් රැස් කිරීමෙන් අනතුරුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, ඊයේ දුනිත් වෙල්ලාලගේ (34) 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු යළි පිටියට පිවිසියේය. මුළු ලකුණු සංඛ්‍යාව 222 සිට 336 දක්වා ඉදිරියට ගෙන ගිය ඕෂද 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ සිය ඉනිම ලකුණු 120 දක්වා ඉහළට ඔසවා තබමිනි.

පන්දු 188කට මුහුණ දුන් ඔහු හතරේ පහර 14ක් එල්ල කළ අතර, ඊයේ රැස් කළේ 25 වැනි පළමු පෙළ ශතකයයි. ඔහු නායක රමේෂ් මෙන්ඩිස් (31) සමඟ ලකුණු 65ක් සහ සන්තුෂ් ගුණතිලක (39) සමඟ ලකුණු 49ක සබඳතා ගොඩනැඟීය. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් කඩුලු 4ක් සහ අකිල ධනංජය කඩුලු 2ක් දවා ගත්හ.

ගාල්ල පළමු ඉනිම – 370යි. (ඕවර 96.2) ඕෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, සන්තුෂ් ගුණතිලක 39, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, අවිශ්ක පෙරේරා 26 (මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2)

දඹුලු පළමු ඉනිම – 154/5යි. (ඕවර 41) රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35 (නිම්සර අතරගල්ල 50/4)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT