Home » කියන්න පෙර සිතා බලනු

කියන්න පෙර සිතා බලනු

by Gayan Abeykoon
April 30, 2025 1:22 am 0 comment

තියකට පමණ පෙර උඩුගත කර තිබූ ජිජැක් ගේ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවක දී ට්‍රම්ප් ගේ බදු ප්‍රතිපත්තිය මගින් ට්‍රම්ප් අරමුණු කරන්නේ කුමක්ද කියා අර්ථකථනයක් ලබා දෙමින් ජිජැක් මෙසේ කියයි.  “I am too s tupid to know if it will work” (“මම මේක සාර්ථක වෙයිද කියල පුරෝකථනය කරන්න තරම් දැනුමක් නැති මෝඩයෙක්”).

ජිජැක් මෙහි දී හෙළි කරන්නේ දේශපාලනය ගැන අපේ රටේ අදහස් දක්වන බොහෝ දෙනෙක් සිදුකරන විශාල බොරුවකි. අප රටේ එසේ අදහස් දක්වන බොහෝ දෙනා අපට ඉඟි කරන්නේ අපේ රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශානතිය ගැන, එය වෙනස් කළ යුතු ආකාරය ගැන, ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු – චීන- ඉන්දීය ආර්ථික උපායමාර්ගය ගැන, අප ඒවා සමඟ නිවැරදිව ගනුදෙනු කළ යුතු ආකාරය ගැන තමන්ට දැනුමක් තිබෙනවා කියා ය.

මෙය අති විශාල බොරුවක් බැව් අපි කියමු. නිශ්චිත ආර්ථික ප්‍රතිපත්ති, මැදිහත්වීම් ආදියෙන් අපට සිදුවන්නේ කුමක්ද කියා ගණන් බැලීම් කළ හැකි ය. ඒවා සම්බන්ධයෙන් පුරෝකථන කළ හැකි ය. නමුත් ඉහත ආකාරයේ සමස්ත දැනුමක් මේවා සම්බන්ධයෙන් තිබෙනවා කියා ඉඟි කරන කෙනෙක් කරන්නේ මහා බොරුවකි. මෙය බොරුවක් කියා අප දන්නේ මෙහි දාර්ශනික පදනම ව්‍යාජයක් කියා අප දන්නා නිසා ය. ‘ආර්ථිකවාදය’ යනු මෙයසූ ගේ භාෂාවෙන් කියන්නේ නම් අවසන් පාරභෞතික විද්‍යාත්මක සංකේතය යි. (the las t metaphysical Symbol).

මෙසේ බොරු කරන සියලු දෙනා එසේ කරන්නේ සිතා මතා යයි අපි නොකියමු. ඇතැමුන් තමන් කරන්නේ බොරුවක් කියා නොදැනම මේවා කළ හැකි ය. නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ සියලු දෙනා කරන්නේ සීමිත තොරතුරු මත පදනම් වී ව්‍යාජ පුරෝකථන කිරීම යි. මේවා බොරු කියා ඔප්පු කළ නොහැක. නමුත් එම නිසාම මේවා නිශ්චිත පොපරියානු අර්ථයෙන් ව්‍යාජ විද්‍යාවන් (pseudo sciences) වෙයි. මෙවැනි අයගේ අදහස් දැක්වීම් මත පදනම් වී අපේ රටේ ආර්ථිකය නම් වෙනස් කළ නොහැකි බව ඉතාම පැහැදිළි ය.

මේ අය ආර්ථිකය ගැන සිතන ක්‍රමවේදය තේරුම් ගැනීමට අවශ්‍ය වැදගත් සාක්ෂියක් ධනුෂ ගිහාන් පතිරණ නම් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයා ගේ ෆේස්බුක් ගිණුමේ මෑතක දී පළ විය. එය ඍජුව ආර්ථික සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් නොවන්නේ වුව එමගින් ධනූෂ වැනි විශ්ලේෂකයන් තොරතුරු යොදා ගන්නා ආකාරය සහ ඒ මත පදනම් වී නිගමනවලට පැමිණෙන ආකාරය අපට පැහැදිළි කර ගත හැකි ය.

ධනූෂ බෙදාගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහට පක්ෂපාතී වනවා කියා පැහැදිලි වන මාධ්‍ය ආයතනයක් විසින් සකස් කරන ලද රූපයක් සහ එම රූපයේ දැක්වෙන අදහස් ප්‍රකාශ කෙරෙන අවස්ථාව ලෙස ගත හැකි වීඩියෝවකි. රූපයේ තිබුණේ “මේ සිස්ටම් එකේ අග්‍රගණ්‍ය මිනිසා රනිල් – අපි ගෙනියන්නෙත් ඔහුගේ වැඩපිළිවෙළයි” යන අකුරු වලින් යුතු ලාල්කාන්ත සහෝදරයා ගේ ඡායාරූපයක් සමඟ බෙදාහදා ගැනීමකි.  වීඩියෝවේ තිබුණේ ලාල් කාන්ත රනිල් ගැන කියන අදහස් කීපයක් එකට අමුණා කළ සංස්කරණයකි. එය ඇසු විට අපට සිතෙන්නේ ලාල්කාන්ත විසින් රනිල් අගය කරන බවයි.

නමුත් එම සංස්කරණය කළ වීඩියෝව වෙනුවට සම්පූර්ණ වීඩියෝව බැලූ විට ලාල් කාන්ත මෙහි කියන දෙය තේරුම් ගැනීම කිසිසේත් අපහසු නොවේ. එහිදී ඔහු රනිල් සන්සන්දනය කරන්නේ මහින්ද ට සහ චන්ද්‍රිකා ට ආර්ථිකය කළමනාකරණය කිරීමට තිබූ හැකියාව සමඟ යි. ඒ අයට සාපේක්ෂව රනිල් බොහෝ ඉදිරියෙන් සිටිනා බව ලාල් කිය යි. එම අර්ථයෙන් ඔහු ජේ. ආර්. ගේ උරුමකරුවා ය. මෙය මහා ආන්දෝළනාත්මක කතාවක් නොවේ. සිහිබුද්ධිය ඇති කිසිවෙක් මෙය ප්‍රතික්ෂේප නොකරනු ඇත.

එය දුටු විට අපට සිහි වූයේ ලොයිඩ් ජෝජ් නම් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සම්බන්ධයෙන් ලෙනින් ගේ අගය කිරීම යි. විමුක්ති දේශපාලනයේ ඓතිහාසික භූමිතලය රැඩිකල් ලෙස පරිවර්තනය කළ නව මහජන දේශපාලනයේ ආකෘතිය ලෙනින් නම් කරන්නේ ‘ලොයිඩ්-ජෝජ්වාදය’ කියා ය. ලොයිඩ් ජෝජ් සම්බන්ධයෙන් ලෙනින් ගේ අදහස් දැක්වීම් සන්දර්භයෙන් තොරව උපුටා ගත්තේ නම් ලෙනින් කරන්නේ ලොයිඩ් ජෝජ්ව අනුගමනය කිරීම පමණි කියා ඉතා පහසුවෙන් නිගමනය කළ හැක! අපේ රටේ බුද්ධිමත් තරුණ දේශපාලන විචාරකයන් අතින් මෙවැනි දේ සිදුවීම කනගාටුවට කරුණකි.

කෙනෙක් එහිදී සංස්කරණය කළ වීඩියෝව වෙනුවට ලාල් කාන්ත ගේ සම්පූර්ණ කතාවට සවන් දුන්නේ නම් ලාල් මෙහි දී කරන්නේ ලෙනින් කරනා දෙයට සමාන වන්නක් කියා පැහැදිලි වෙයි. නිදර්ශනයක් ලෙස රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඉහත අගය කිරීම කිරීමෙන් පසුව ලාල් මෙවැන්නක් ද කියයි: “ඒකෙන් අදහස් වෙන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය අපි පිළිගන්නවා කියන එක නෙමෙයි”.

මෙම කොටස ඉහත සංස්කරණය කළ වීඩියෝවේ නැත. එම වීඩියෝව සකස් කළ පිරිසේ අරමුණට එය පටහැණි  වන නිසා එය අපට තේරුම් ගැනීම ද අපහසු නොවේ. අපට අවශ්‍ය වන්නේ මෙවැනි සීමිත තොරතුරු මත පදනම් වී අප අගය කරන ධනූෂ වැනි කෙනෙක් පැමිණෙන නිගමනවල ස්වරූපය පෙන්වා දීමට යි. මේ මඟින් අප තේරුම් ගත යුත්තේ ඉදිරි ආර්ථික උපායමාර්ගය, ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික තෝරා ගැනීම් ආදිය ගැන තමන්ට සාර්ව දැක්මක් තිබෙනවා කියා ‘පොර ටෝක්’ දෙන බොහෝ දෙනෙක් සම්බන්ධ නිවැරදි සත්‍යය කුමක්ද යන්න යි. මේ ‘ආර්ථිකවාදය’ යල් පැන ගිය දාර්ශනික උරුමයක නෂ්ඨාවශේෂයක් බව තේරුම් ගැනීම අපේ රටේ අනාගතය සඳහා තීරණාත්මක වෙයි. මෙය මඟ හැර ගන්නා එක්තරා තරුණ පරම්පරාවක් සම්බන්ධයෙන් අපට තිබෙන්නේ කනගාටුවකි.

 

  වංගීස සුමනසේකර

(බටහිර ඉවුරේ දර්ශනය වෙනුවෙනි)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT