ගහේ කටු උල් නොකළ මනා යයි ගැමි කියමනක් තිබේ. ලොව වැඩකරන ජනයාගේ සටන්කාමිත්වය සනිටුහන් කරන දිනය මෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සියලුදෙනාගේ පොදු බලාපොරොත්තුවක වේදිකාව ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි. එබැවින් ඒ පිළිබඳ යළි අර්ථ දැක්වීම් හෝ අටුවාටිකා වුවමනා නැත. කළ යුත්තේ අර්ථපූර්ණ දිනයක් වඩා අර්ථාන්විත දිනයක් බවට පත් කර ගැනීම යි.
දශක ගණනාවකට ඉහත සිටි කම්කරුවා අද දවසේ වැඩබිමේදී අපට හමු නොවනු ඇත. එසේ වුව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ශ්‍රමයෙන් දායක වන සියලුදෙනා අපට දවසේ කිසියම් වූ මොහොතක හමුවනු ඇත. බස් රියේ, දුම්රියේ මහමග නොවුණත් මාර්ගගත ක්‍රමයට හෝ එය සිදුවනු ඇත. සංක්‍රමණික ශ්‍රමිකයින් තවමත් ‘ශ්‍රමිකයින්‘ ලෙස පිළිගැනීමට ලක්ව නැත. අාන්තික කොට සැලකෙන LGBTQ ප්‍රජාව, ආබාධිත ප්‍රජාව පමණක් නොව කාන්තාවන් හා ළමුන් පවා තවමත් පීඩාවට පත්වෙමින් සිටින යුගයක අපි ජීවත්වෙමින් සිටින්නෙමු.
එහෙත් දැන් එළඹ ඇත්තේ ඉතිහාසයේ පෙර නොවූ විරූ රතු මැයි දිනයක් වඩාත් වර්ණ ගැන්විය හැකි මොහොතකි. මේ ගෙවෙමින් පවතින්නේ ඉතිහාසයේ අඳුරුතම යුගවල ලෙයින්, දහදියෙන්, ජීවිතයෙන් වන්දි ගෙවූ මැයි දිනය තහනම් වූ ව්‍යාපාරයක් ෆීනික්ස් කුරුල්ලා මෙන් අළු මගින් නැඟිට රට ලස්සන කරන නිමේෂයකි. අප සිටින්නේ ලක් ඉතිහාසයේ පළමු වරට අරගල කිරීමකින් තොරව රජයේ සේවකයින්ට ඉහළම වැටුප් වැඩිවීම කළ ජනතා ආණ්ඩුවක ඉදිරිගාමී ගමන්මගක ආරම්භයේ ය.
එබැවින් හෙට එළඹෙන මැයි දිනය යනු එක්ව දැකිය හැකි සුන්දර සිහිනයක පෙර නිමිත්තකි.