පසුගියදා කාශ්මීරයේ පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම්, 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්රස්තවාදී ප්රහාරය ලෙස ඉතිහාසයට එක් ව තිබේ.
වින්දිතයන් වූයේ සෙබළුන් හෝ නිලධාරීන් නොව, ඉන්දියාවේ ඉතාමත් සුන්දර නිම්නවලින් එකක නිවාඩුවක් ගත කළ සිවිල් වැසියන් ය. ඒ නිසා ම මෙම ප්රහාරය ම්ලේච්ඡත්වයෙන් ඉහළ ය.
ආරම්භයක් ලෙස ඉන්දීය රජය ඉක්මනින් ම පළිගැනීමේ පියවර මාලාවක් ගෙන තිබේ. ප්රධාන දේශසීමා පිවිසුම් වසා දැමීම, තීරණාත්මක ජල බෙදා ගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම සහ රාජ්ය තාන්ත්රිකයින් නෙරපා හැරීම ඒවා අතරට අයත් ය. ඉන්දියාවේ ක්ෂණික ක්රියාමාර්ගවලට ඒ අකාරයෙන්ම ප්රතිචාර ලැබෙනු ඇති බවට පකිස්ථාන අග්රාමාත්යවරයා පවසා තිබේ. දේශසීමාවේ වෙඩි ප්රහාර එල්ල කර ගැනීම් වාර්තා වුවද, දැඩි යුදමය තත්ත්වයක් දක්වා එය වර්ධනය වනු ඇත්දැයි තවමත් අනුමාන කළ නොහැකි ය. එහෙත් එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් භූ ගෝලීය වශයෙන් කලාපයේ මගහැර යා නොහැකි සංධිස්ථානයක සිටින අපට එය බලපානු නැතැයි ද කිව නොහැකි ය.

2019 පෙබරවාරි මාසයේදී ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවෙකු වූ අභිනන්දන් වර්දමන් නමැති අය පකිස්ථාන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසු ඔහු නිදහස් කරන ලෙස යාඥා කරමින් සිටින ඉන්දියානු සිසුවියන් පිරිසකි. එකී සතියේ සිකුරාදා දින සවස මොහු නිදහස් කිරීමට පකිස්ථානයේ ඉස්ලාමාබාද් බලධාරීන් විසින් කටයුතු කරන ලදී. ඡායාරූප අයිතිය- SAM PANTHAKY/AFP/Getty Images