ඉන්දියාව සහ චීනය අතර ගැටුණු මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ හිමාලය කඳු පාමුල මිනිසා සහ පාෂාණ අතර සබඳතාවෙහි වටිනාකමෙහි පදනම ඛේදවාචකයකි. මඩ තැවරුණු රළු ගල් කැබැල්ලක් ගොඩ ගැනීමෙන් පසු එය වර්ණ විහිදමින් දිදුලන අතර වෙහෙස දරා එය ගොඩට ගන්නා මිනිසා ඒ වෙහෙස තුළම ක්‍රමක්‍රමයෙන් මරණය කරා ළඟා වේනම් කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? එහෙත් එකී වෙහෙසකර මිනිසා සිය ආශාව අත් නොහරී. මක් නිසාද සිය අඹු දරුවන්ට කුස පුරා බත් කන්නට ඔහු එය කළ යුතු නිසා ය.
අප මේ සාකච්ඡා කරන්නේ චීනයේ සුපිරි වෙළෙඳපොළක් පවත්නා මියැන්මාරයේ ජෙඩ් ගල් ගැන ය. ජෙඩ් ගල් හා ගැටෙන මියැන්මාර මිනිසුන් ගැන ය. ඒවා මුදල් කර කෝටි ගණන් උපයන මියැන්මාර හමුදා නිලධාරීන් ගැන ය. ජෙඩයිට් (jadeite) ලෙස හඳුන්වන සෝඩියම් ඇලුමිනියම් සිලිකේට් පාරභාසක ස්කන්ධයක් වන මෙම පාෂාණය ලෝකයේ වඩාත්ම ප්‍රිය කරන මැණික් වර්ගයන්ගෙන් එකකි. ප්‍රධාන වශයෙන් චීන ජාතිකයන් අතර ඒවාට ඇති කෑදරකම ඒවායේ වාර්තාගත අලෙවියට ප්‍රමුඛතම හේතුවයි.
දල වශයෙන් 300,000 ක් පමණ මියැන්මාර ජාතිකයෝ මෙම දිදුලන ගල් සොයා තරගවදිමින් සිටිති. අධික ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔවුහු නායයෑම් හා මරණය අත වනන උස් කඳු ශිඛර බෑවුම් මත්තේ යහපත් හෙටක් වෙනුවෙන් අද දවසේ ජීවිතය ඔට්ටුවට තබති. 2020 ජූලි මාසයේ පමණක් නායයාමකින් ඔවුහු එක තැන එක් නිමේෂයකදී 166 ක් වැළලී ගිය හ. 2015 දී එය 200 කි. එහෙත් මියෙන්මාරයට ඒවා යම් සංසිද්ධි පමණකි. සැබෑ කටුක යථාර්ථය නම් කුඩා ගල් කැබැලි හැරුණු විට වටිනාකමින් ඉහළ මැණික් මියෙන්මාර හමුදාව විසින් මෙකී අසරණ මිනිසුන්ගෙන් උදුරා ගන්නා බවයි. තත්ත්වය මෙසේ වුව එදාවේල සරිකිරීමට සමත් ගල් කැබැල්ලක් වෙනුවෙන් ඔවුහු මැලේරියාව, පාචනය, නාය යාම් හා අධික සීතළ මධ්‍ය යේ එකී අරගලය තුළම ජීවත්වෙති. වෙහෙස මකාලීමට හෙරොයින් නැමති ප්‍රබල මත්ද්‍රව්‍යයක සුවය පතති. අනතුරුව එහිම ගොදුරු බවට පත්ව ඒ තුළම ගිලී මියෙති.
මැණික් පතල්වල පාලනය, මිනිසුන් හැසිරවීම හා බොහෝවිට ජෙඩ් ගල්වල අයිතිය ඉඳුරාම මියැන්මාර හමුදාව සතු ය. බොහෝ දෙනෙකු එය හඳුනා ගනු ලබන්නේ ජෙඩ් ගල හා එය ගොඩගත් මියැන්මාරයේ දුප්පතා පිළිබඳව ය. එහෙත් ඩොලර් මිලියන ගණන් සොයන එක්සත් ජනපද රජයට අවශ්‍ය වන්නේ මියෙන්මාර් හමුදාවේ සබඳතා සහිත සමාගම්, චීන සමාගම්, ජනවාර්ගික කැරලිකාර අණ දෙන නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙය මඩ හා දුවිල්ල වැකුණු ස්වර්ග රාඡ්‍යයේ මාවතම ය. කෙටියෙන්ම කිවහොත් මෙය ඉවක් බවක් නැතිව ස්වාභවය ධර්මයා සුරාකෑමකි.
මෙම ස්වාභාවික සම්පත් සූරාකෑම අධීක්‍ෂණය කරන ජාත්‍යන්තර මුරකරුවෙකු වන ග්ලෝබල් විට්නස්, 2014 දී මියන්මාරයේ ජෙඩ් වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 31 ක් බවට ගණන් බලා ඇති අතර එය එම වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න ය. 2021 අප්‍රේල් 1 සිට 10 දක්වා පැවැත්වූ මියන්මාරයේ වාර්ෂික ජෙඩ් සහ මැණික් එම්පෝරියම් ප්‍රදර්ශනයේ 6 වන දිනයේ පමණක් ඩොලර් මිලියන 6.5 ක් ඉපයූ බව මියන්මාර රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් මෙම බොහෝ පතල්වල අයිතිය බුරුම හමුදා ප්‍රභූ පැලැන්තියට සම්බන්ධ සමාගම්වලට හෝ හිතවතුන්ට ය. බොහෝ මැණික් ගල් දේශ සීමාව හරහා අසල්වැසි චීනයට හොරෙන් ගෙන යනු ලැබේ. ආසියාවේ දුප්පත්ම රටක රජයේ භාණ්ඩාගාරය පිරවීම සඳහා අවශ්‍ය බද්දට යටත් වන්නේ මින් ඉතා සුළු කොටසක් පමණි.
ලෝකයේ හොඳම ජෙඩ් පතල් වන මේවා සියල්ලම පාහේ විදේශිකයින්ට මුද්‍රා තබා ඇත. නමුත් 18 වන සියවසේ සිට මියැන්මාරයට සම්බන්ධ චීන අධිරාජ්‍ය තානාපතිවරුන්ට මෙම මැලේරියා ගිරි දුර්ගයට පිවිසීමට ඔනෑම මොහොතක දොරටු විවෘත ය. එක්සත් ජනපද හෝ චීන වෙළෙඳ නාමයන් සහිත පුපුරණ ද්‍රව්‍ය සහ බර යන්ත්‍රෝපකරණ විසින් කඳුකරයෙන් කඳුකරය වසර ගනණාවක් තිස්සේ මුළු හපකාන්ත් කඳුකරයම බිමට සමතලා කරමින් සිටී. දැනටමත් හපකාන්ත් බොහෝ දුරට මිය ගොස් ඇත. වසර ගණනාවක් තිස්සේ කිසිදු බටහිර මාධ්‍යවේදියෙක් හපකාන්ට් වෙත ළඟා නොවී ය.
බාහිර ලෝකයෙන් වෙන් කොට ඇති හපකාන්ත් රන්වන් පැහැයෙන් යුත් හිරු එළිය සමඟ අවනීතියේ කිරණද මුදාහරිමින් තිබේ. පැහැදිලි කළ නොහැකි ඝාතන විධිමත් ලෙස සිදු වේ. ගිය වසරේදී කිසිදු වගවිභාගයකින් තොරව පාසල් ගුරුවරියකගේ හිසට වෙඩි තබා ඇත. ඊට පෙර , ජෙඩ් වෙළෙන්දෙකුට මරණ දණ්ඩනය නියම කළ එරට හමුදාව වෙඩි උණ්ඩයක් ඔහුගේ හිසට ඇතුළු කළේ ය. පතල් සමාගම් දෙකක මූලස්ථාන පසුගිය වසරේ බෝම්බ පුපුරා ගියේ ය. නොවැම්බරයේදී, හ්මාව් සිසාර් පතලේ ජෙඩ් ස්කැවෙන්ජර්වරයකු හමුදා බුද්ධි අංශ විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. සැබවින්ම හපකන්ත්හි සැබෑ නීතියක් නොමැත.
අග්නිදිග ආසියාවේ සහ සමහරවිට ලොව පුරා ප්‍රමුඛතම හෙරොයින් ජාවාරම් කණ්ඩායමේ නායකයා වන Wei Hsueh-kang ඉන්නේ එහි ය. ඔහු මියන්මාරයේ විශාලතම ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම වන එක්සත් රාජ්‍ය හමුදාවේ හිටපු අණදෙන නිලධාරියා ය. ඔහුගේ භූමිකාව මත පදනම්ව, ඔහු අල්ලා ගැනීමට තුඩු දුන් තොරතුරු සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 2 ක් දක්වා සිය ත්‍යාග දීමනාව ඉහළ දමා තිබේ. එක් කුඩා පතල් හිමිකරුවෙක් ටයිමි සගරාවට පවසා ඇත්තේ “ මියන්මාර් ජෙඩ් කර්මාන්ත හිසෙහි ඇති සියලුම හිසකෙස් අතරින් බුරුමයට ඇත්තේ එක කෙස් ගසක් පමණි. ඉතිරි සියල්ල චීනයේ ය. ” යනුවෙනි.
උපාලි ජයසිංහ