Home » ජේ.ආර්. පැරදූ 87 මැයි රැළිය

ජේ.ආර්. පැරදූ 87 මැයි රැළිය

by Gayan Abeykoon
April 30, 2025 1:14 am 0 comment

අභයාරාමයේ පැවැති සමරුවේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි කතා කළ අයුරු

1987 අප්‍රේල් 21 වනදා පිටකොටුව බස්නැවතුම්පළේ බෝම්බයක් පුපුරා ගියේ ය. එය දඩමීමා කරගනිමින් එවක පැවති එජාප රජය බරපතළ තීන්දු කිහිපයක් ගනු ලැබිණි. එයින් වඩාත් තීරණාත්මක තීන්දුව වූයේ ළඟ එන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් තහනම් කිරීමට පියවර ගැනීම ය.

රටේ ආරක්ෂක වාතාවරණය අනුව මැයි 1දාට සැමරුම් වෙනුවෙන් කොළඹ නගරයට එක් රැස්වන ජනයාට ආරක්ෂාව සැපයීම බරපතළ ගැටලුවක් බවත්, මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම උදෙසා මැයි දින සමරුව මෙන්ම මැයි 22 දාට යෙදෙන ජාතික වීර දිනය කල්දැමූ බවත් රජය විසින් නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට එරෙහිව විපක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරුන් මෙන්ම ජවිපෙ ප්‍රමුඛ වාමාංශික සංවිධාන මෙන්ම කණ්ඩායම් සියල්ල පාහේ සිය විරෝධය දක්වන්නට ‍විය. විශේෂයෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීමේ අවංක වුවමනාවක් ඇත්නම් රජය විසින් ඒ වන විටත් පවත්වාගෙන යමින් තිබූ විවිධ සැණකෙළි හා සංදර්ශන නැවැත්වීමට පියවර නොගන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට වූහ.

මේ අයුරින් රජයේ විවිධ මර්දන නීති ක්‍රියාත්මක වුවද, ඒවා නොතකමින් දේශපාලන පක්ෂ හා සංවිධාන හැකි පමණින් විවිධ සමරු වැඩසටහන් සංවිධානය කරන ලදී. විශ්වවිද්‍යාල සිසුන් මෙහිදී සිය විරෝධය තීව්‍ර කරන්නට වූ අතර අ.වි.වි.ශි.බ.ම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 1977 සිට කම්කරුවන්, ගොවීන්, සිසුන්, කාන්තාවන් හා භික්ෂුන් ඇතුළු සියලු ජන කොටස් පීඩනයටත්, මර්දනයටත් ලක් කළ එජාප ආණ්ඩුව එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බව ය. මේ නිසා මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව කම්කරු, ගොවි, සිසු, පැවදි ආදී සියලු බලවේග එක් රැස් කර අධිෂ්ඨානශීලිව පෙරමුණ ගත යුතු බවත්, ඒ සඳහා පෙළගැසීම මෙම මැයි දිනයෙන් ආරම්භ කළ යුතු බවත් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව සංවිධානය කළ මැයි දින පෙළපාලියට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉබ්බන්වල හංදියේ සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට තැනූ වේදිකාවක මැයි දින රැළිය පවත්වනු ලැබූ අතරට එයටද, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. එහිදී එවක සමසමාජ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ද තුවාල ලැබී ය. විජය කුමාරතුංග ඇතුළු බොහෝ පිරිසක් මෙදින රැස්ව සිටි පිරිස අමතා කතා කළහ.

කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර සියල්ලෙම පාහේ ආරක්ෂක විධිවිධාන තර කර තිබුණු අතර හදිසි පොලිස් මුරපොළවල් යොදා දැඩි පරීක්ෂා කිරීම් සිදුවිය. පොලිස් කැරලි මර්දන ඒකකය, බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර සඳහා බලඇණිවල සූදානම දැකිය හැකි විය. ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය තීව්‍ර වෙමින් පැවති අතර ඒවන විටත් තහනමට ලක්කර තිබූ ජවිපෙ වෙත පිරිස් වඩා වඩා ආකර්ෂණය වීමටත් එය එක් හේතුවක් විය. ඒ නිසාම ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති හා සංවිධාන හරහා ජවිපෙ තමා වෙත ඇදෙන ජනයා වඩ වඩාත් ගොනුකර ගනිමින් සංවිධාන ශක්තිය තරකර ගනිමින් සිටියේ ය. ඒ නිසාම බොහෝ මැයි දින සමරු වැඩසටහන් පිටුපස ජවිපෙ ක්‍රියාධරයින් නොසැළෙන අදිටනින් යුතුව ක්‍රියාත්මක වෙමින් සිටියහ. කොළඹට අමතරව මහනුවර, ගාල්ල, අනුරාධපුර දිස්ත්‍රීක්කවල පවා පැවති මැයි දින වැඩසටහන් වලට පොලිස් ප්‍රහාර එල්ල විය. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පවසා තිබුණේ හදිසි නීතිය යටතේ කම්කරු දිනය රජය විසින් තහනම් කර ඇති බැවින් පොලිසියේ අවවාද කිරීම් නොතකා රංචු ගැසෙන, එළිමහන් රැස්වීම් සඳහා පියවර ගනු ලැබූ පිරිස් වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වන බව ය.

අ.වි.වි.භි.බ.ම පිරිස් ගේට්ටුවෙන් පිටවූ අවස්ථාව

අ.වි.වි.භි.බ.ම පිරිස් ගේට්ටුවෙන් පිටවූ අවස්ථාව

මැයි දින සමරු වැඩසටහන් තහනම් බැවින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය විසින් කම්කරු විමුක්තිය උදෙසා ආශිර්වාද කිරීමේ ආගමික උත්සවයක් නාරාහේන්පිට අභයාරාහම විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. “මැයි 01 කම්කරු විමුක්තියට ආශිර්වාදය – මහ සඟරුවන පෙරට වඩියි” යනුවෙන් ඊට අදාළ දැන්වීම ප්‍රදර්ශනය කර තිබුණි. මෙම ඉල්ලීම කර තිබුණේ පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත, සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් ය. මෙදින අභයාරාමය අවට ආරක්ෂක විධිවිධාන තර කර තිබුණු අතර සන්නද්ධ පොලිස් නිලධාරීන් 200ක් පමණ සේවයේ යොදවා තිබිණි. මෙම වැඩසටහන එදින ප.ව 2.35ට පමණ ආරම්භ වූ අතර භික්ෂුන්, ගොවීන්, කම්කරුවන්, සරසවි සිසු-සිසුවියන් ඇතුළු දහසකට අධික පිරිසක් සහභාගිවී සිටියහ. විහාරස්ථානයේ තනන ලද වේදිකාවක මුලසුන ගෙන සිටියේ පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් ය. මිනිත්තු 45ක පමණ කාලයක් ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු රැස්ව සිටි සියලුදෙනා ඇතුළු වර්ජන නිසා රැකියා අහිමිවූවන්ට පිං පැමිණවීම සිදුවිය. කථිකයින්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මැයි දින යෝජනාවක් ඉදිරිපත් කර ඒ සඳහා රැස්ව සිටි පිරිසෙන් ජනතා අනුමැතිය ලබාගන්නා ලදී. ඉක්බිතිව මූලාසනයේ අදහස් දැක්වීමෙන් පසු මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැළියේ කටයුතු අවසන් කර රැස්ව සිටි පිරිසට සාමකාමීව විසිර යන ලෙස සංවිධායක කමිටුව විසින් දැනුම්දෙන ලදී. ඒ අනුව පස් දෙනා බැගින් අභයාරාමයෙන් පිටව යාම ආරම්භ කෙරිණි. අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ පිරිස් ‘මානිවත්ථ අභික්ඛම‘(නොනැවතී ඉදිරියට) යන තේමා පාඨය සහිත බැනරයක් පෙරටුකොට ගෙන සාමකාමී පාගමින් ගේට්ටුවෙන් පිටවීමත් සමඟ යම් නොසන්සුන්තාවක් හට ගත් බව පෙනෙන්නට තිබිණි. රැක්වල්ව සිටි පොලස් නිලධාරීන් පිරිසකට කිසිවෙකු විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පවසමින් පොලීසිය විසින් විහාරස්ථානයෙන් පිටව යන පිරිස් වෙත මෙන්ම විහාරස්ථානය තුළටද කඩා වැදී බැට්න් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී. කොළඹ දකුණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර් ගේ නොහික්මුණු අණදීමෙන් වෙඩිතැබීම් ආරම්භ විය. අභයාරාමය තුළ මෙන්ම ඉන් පිටතද, කළු දුමාරයෙන් වැසී යමින් ලේ පෙරාගෙන හිස් ලූ ලූ අත දිව යන ජනයා ද, ඉවක් බවක් නැතිව වෙඩි තියන පොලීසියේ නිලධාරීන්ද නිසා මිනිත්තු 15ක පමණ කාලයක් සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව කිව නොහැකි තරමෙ අරාජික මොහොතක් පැවතී කෙමෙන් අවසන් විය. තුවාල ලැබූවන් පවා රෝහල් වෙත ගෙනයාමට පොලිසිය විසින් ඉඩලබා දුන්නේ බොහෝ වේලාවකට පසු බව වාර්තා විය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මික ශිල්පියෙකු වූ ලෙස්ලි ආනන්ද ලාල් යන අය විහාරස්ථාන භූමියේම වෙඩි වැදී මියගොස් සිටි අතර තුවාල ලැබූ කිත්සිරි මෙවන් රණවක නැමති සරසවි සිසුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව ජීවිතක්ෂයට පත්විය. වයස අවුරුදු 14ක දරුවෙකු ඇතුළු 25 දෙනෙකු පමණ බරපතළ තුවාල ලැබූහ.

චිකාගෝ නුවර කම්කරු ඝාතනයෙන් වසර 101ක් සම්පූර්ණ වූ 1987 මැයි 1 දින එජාපයේ අධම පාලකයකු වූ ජේ.ආර් ජයවර්ධන පාලනය මෙරට කම්කරු දින ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරනු ලැබුවේ ඒ අයුරිනි. එවක තිරය පිටුපස ජීවිත පරිත්‍යාගයෙන්, නොසැළෙන අදිටනින් හා ජවයෙන් යුතුව ක්‍රියා කළ ජවිපෙ අද දවසේ මෙරට පාලන බලය හිමිවූ  පළමු වාමාංශික බලවේගය ලෙස  ආණ්ඩු බලය මෙහෙයවමින් සිටියි.

 

  සඳු දිසානායක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT