බීජ පර්යේෂණ ආයතන දියුණු කරනවා 
කලින් සිටි ආණ්ඩු කළේ සියල්ල ඔවුන් බෙදාගෙනයි
කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට පියවර රැසක් ගත්තා
යළි කිසිදිනක මෙරට ගොවි ජනතාවගේ වී සහ කෘෂි නිෂ්පාදන අසාධාරණ මිලකට මිලදී ගැනීමට ඉඩ නොදෙන බවත් ආණ්ඩුව මැදිහත් වී සාධාරණ මිලක් ස්ථාපිත කරමින් ගොවියා ආරක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයේ තීන්දු තීරණ හේතුවෙන් දිගු කලකට පසු පසුගිය කන්නවලදී ගොවි ජනතාවට වී සහ බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් ලැබුණු බවත්, කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ පසුගියදා (25) “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට අනුරාධපුරයේදී එක්වෙමිනි.
බිත්තර වී ඇතුළු බීජවල මිල ඉහළ යෑම ගොවි ජනතාවට දරාගත නොහැකි බැවින් මහඉලුප්පල්ලම ගොවිපොළ ඇතුළු බීජ පර්යේෂණ ආයතන දියුණු කර ගොවි ජනතාවට සාධාරණ මිලකට බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙනවා. කෘමිනාශක සහ වල්නාශක වෙළෙඳපොළට රජය තරගකාරී ලෙස මැදිහත් වන බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය ලබා දී ඇති රුපියල් මිලියන 2000ක මුදල මේ දෙසැම්බර් 31 දිනට පෙර සම්පූර්ණයෙන් වියදම් කරමින් එම සියලු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විශේෂ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාව විශාල හැරවුමක් සහිත දේශපාලන තීන්දුවක් ගත්තා. පවුල් සහ පරම්පරා කිහිපයක් අත තිබූ බලය පොදුජන ව්‍යාපාරයක් අතට මාරු වුණා. නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එම ගමන තවත් ශක්තිමත් වුණා.
එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා. මේ රටේ බහුතර ජනතාවක් ජාතික ජන බලවේගයේ අප කෙරෙහි විශ්වාසය තබා අපට ඡන්දය ලබා දී තිබෙනවා. මේ රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ඇයි? හොරු ඇල්ලීම, ආර්ථිකය ගොඩනැඟීම, රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම සහ ලෝකය ඉදිරියේ කළු රටක් බවට පත්ව තිබූ අපේ රට ලෝකයේ පිළිගත් රාජ්‍යයන් සමඟ ශක්තිමත් සබඳතා තිබෙන දිදුලන රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් ජනතාව අපට ඡන්දය ලබා දුන්නා.
එම ජනතාව තැබූ බලාපොරොත්තු සහ අපේක්ෂා ජාතික ජන බලවේගයේ අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා. ඒ වගේම අනිවාර්යයෙන් ඒවා ඉටු කරනවා. ඒ පිළිබඳ කිසිම සැකයක් තබාගත යුතු නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් අය සතුටින්, බලාපොරොත්තුවෙන් සහ විශ්වාසයෙන් සිටිනවා. එහෙත් පැරදුණු අය අඬනවා. ඔවුන් දිගුකලක් අපේ රට පාලනය කළා. ඔවුන් සිතුවා හැමදාම මේ බලය ඔවුන් අත හුවමාරු වෙයි කියලා. එහෙත් පළමු වතාවට මේ වෙනස සිදු වුණා. ඔවුන් සිය ජීවිත කාලයේදී අපේක්ෂා නොකරන ලද දේශපාලනයක් අද ඔවුන්ට උරුම වී තිබෙනවා.
ඒ නිසා තවදුරටත් ලංකාවේ අනාගතය සහ ජනතාවගේ අපේක්ෂා මුළුමනින්ම පොදි බැඳී තිබෙන්නේ ජාතික ජන බලවේගය සමඟයි. අපි එය පියවරින් පියවර ඉටු කරනවා. අපි මේ රට හදන්න ඕනෑ. ඕනෑම රටක් හදනවා නම් වැදගත්ම සාධකය වන්නේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරීමයි. ගෙවී ගිය මාස හයක් වැනි කෙටි කාලයේදී අපි සැලකිය යුතු මට්ටමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට සමත් වී තිබෙනවා. එහි සලකුණු අද ජනතාගේ ඇස් ඉදිරිපිට පෙනෙන්න තිබෙනවා.
අපි රාජ්‍ය ආදායම් උපයනවා. ඒ මුදල් සියල්ල මේ රට ගොඩනැඟීමටත් රටේ ජනතාවට ලබාදීමටත් කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපි කෝටි 33,000ක් වෙන් කර තිබෙනවා. රටවල් ගොඩනැඟිය යුත්තේ එලෙසයි.
රට ගොඩනැඟීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් පියවර තබා තිබෙනවා. ඒ වගේම තෝරාගත් ක්ෂේත්‍ර ගොඩනැඟීමට කටයුතු කරමින් සිටිනවා. එහි වැදගත් ස්ථානයක් සංචාරක කර්මාන්තයට හිමිවන අතර ලංකා ඉතිහාසයේ මෙතෙක් සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණි වසර බවට 2025 වසර පත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි සංචාරක ආකර්ෂණීය ගමනාන්ත ලෙස මේ ප්‍රදේශ වැඩිදියුණු කළ යුතුයි.
අපේ රටේ පළමු රාජධානිය අනුරාධපුරයයි. පළමු වැව බසවක්කුලම වැවයි. මෙහි විස්මිත නගර නිර්මාණය සහ ප්‍රෞඪ ඉතිහාසය ඉතා සුවිශේෂයි. එහෙත් අපට තවමත් අනුරාධපුරය ශක්තිමත් සංචාරක ගමනාන්තයක් බවට පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි මේ අනුරාධපුරය යළි පැවති අනුරාධපුරය ලෙස ගොඩනඟනවා. අපි තවත් නගර 04ක් තෝරාගෙන තිබෙනවා. අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය සහ ගාල්ල නගරවල තිබෙන විශේෂත්වය මත එම නගර ගොඩනඟනවා. අනුරාධපුරයට ඇතුළු වන විට පැරණි ශිෂ්ටාචාරය සහ පැරණි රාජධානිය ඉස්මතු විය යුතුයි. ඒ වෙනුවෙන් අපි අනුරාධපුරයට නව නගර නිර්මාණ සැලැස්මක් හදනවා. එහි විශාල වැඩකොටසක් මේ වන විට අවසන් කර තිබෙන අතර ඉන්දියානු අගමැතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියානු රජයේ ආධාරයක් ලෙස මුළු මුදලම ලබාදීමට එකඟ වී තිබෙනවා.
ඒ අයුරින්ම යාපනය සහ ත්‍රිකුණාමලය ඊට ආවේණික සංස්කෘතීන් සමඟ ගොඩනැඟිය හැකියි. යාපහුවේ අපට ඉතාමත් ආවේණික උරුමයන් තිබෙනවා. එහෙත් සංචාරකයන්ගේ පැමිණීමක් නැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ නව පිම්මක් වෙනුවෙන් යාලට, අරුගම්බේට සහ ඇල්ලට පමණක් සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කළ යුතුයි.
ඒ වගේම කෘෂිකර්මාන්තයට අපි ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබෙනවා. කෘෂිකර්මාන්තයේ විශාල පරිවර්තනයක් අපි අපේක්ෂා කරනවා. මේ අනුරාධපුර ග්‍රාමීය ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. අපේ කෘෂිකර්ම ඇමැතිවරයාත්, වාරිමාර්ග ඇමැතිවරයාත් දෙදෙනාම මේ අනුරාධපුරයේ අයයි. කෘෂිකර්මාන්තය හදන්නේ මේ අනුරාධපුරයෙන් බව මම ප්‍රකාශ කරනවා. කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් අපි මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා.
බිත්තර වී ඇතුළු බීජවල ඉහළ යෑම මේ ගොවි ජනතාවට දරා ගන්න බැහැ. මිල සාධාරණ නැහැ. ඒ නිසා අපි මහඉලුප්පල්ලම ගොවිපොළ ඇතුළු බීජ පර්යේෂණ ආයතන දියුණු කර ගොවි ජනතාවට සාධාරණ මිලකට බිත්තර වී ලබාදීමට සැලසුම් සකස් කරනවා. ඒ වගේම රුපියල් 15,000ට තිබූ පොහොර සහනාධාරය 25,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළා. මේ සහනාධාරය දිනක් ප්‍රමාද වුවහොත් අඬන කට්ටිය ඉකි ගහ ගහ අඬනවා. මුදල්වල කිසිම ගැටලුවක් නැහැ. මේ යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් අපි මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙනවා. එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍යම ලේඛන සකස් කර දීමට අසමත්වීම නිසයි. මේ වෙනුවෙන් තමයි අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ.
ඒ වගේම අපේ රටේ කෘමිනාශක සහ වල්නාශක මාෆියාවක් තිබෙනවා. මේ සමාගම් විශාල ලාභයක් ලබනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය යළි කෘමිනාශක සහ වල්නාශක වෙළෙඳපොළට තරගකාරී ලෙස මැදිහත් වෙනවා. දැනුත් කෘමිනාශක කිහිපයක් සහ වල්නාශක කිහිපයක් වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශකවල මිල සියයට පනහකින්වත් අඩු කිරීමට අපි සැලසුම් හදනවා.
ඒ වගේම අතිරේක භෝග වගා කරන අයට තිබූ ප්‍රශ්නවලින් කොටසක් අපි දැනටමත් විසඳා තිබෙනවා. තමන්ගේ කුඹුරේ බඩඉරිඟු, සෝයා බෝංචි ආදී අතිරේක භෝග වගා කරනවා නම් ඒ සඳහාත් අපි රුපියල් 15,000ක සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරනවා. රාජංගණය ව්‍යාපාරය, හුරුළුවැව ව්‍යාපාරය, නාච්චාදූව ව්‍යාපාරය වැනි පැරණි ව්‍යාපාර යටතේ තිබෙන ඇළවේලි විශාල වශයෙන් කැඩී ගොස් තිබෙනවා. ඇනිකට් කඩා වැටී තිබෙනවා. ජලය නාස්ති වන අතර කළමනාකරණය කර ගැනීමට අසමත් වී තිබෙනවා.
ඒ නිසා අපි පසුගියදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මේ වාරිමාර්ග ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය මුදල් පිළිබඳ විමසුවා. එහිදී වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා මිලියන 3,000ක් අවශ්‍යයි කියලා. එම මිලියන 3000ම ලබා දෙන බව මම ප්‍රකාශ කළා. ඉන් පසුව මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා 3,000 වැඩියි, 2,000ක් ප්‍රමාණවත් කියලා. ඒ අනුව අපි අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා.
මම අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදීත් එහි සිටි ඉංජිනේරු මහත්වරුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. එහිදී අපට හැඟුණා මේ වෙන් කළ මුදල්වලින් වැඩ කර ගැනීමට අපහසුවක් තිබෙනවා කියලා. ඒ නිසා අපි වෙනත් දිස්ත්‍රික්කවල සිටින අතිරේක නිලධාරින් කැඳවා විශේෂ මෙහෙයුමක් යටතේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර මේ මුදල් වියදම් කර මේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කිරීමට වැඩපිළිවෙළ සකස් කරනවා. අපි අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. වෙනදා සිදු වුණේ වැඩ තිබුණත් සල්ලි නැතිවීමයි.
ඒ වගේම අපි සියලු වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. වී අලෙවි මණ්ඩලයේ පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක ගබඩා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වගේම සතොස මෙට්‍රික් ටොන් 80,000ක ගබඩා සූදානම් කළා. ඉන්පසුව වී මිලදී ගැනීමට රුපියල් කෝටි 500ක් වෙන් කළා.
අපි වීවලට තීරණාත්මක මිලක් ප්‍රකාශ කළා. ඒ මිලට වඩා අඩු නම් අපට දෙන්න සියලු වී මිලදී ගැනීමට සූදානම් බව අප ප්‍රකාශ කළා. ඒ අනුව දිගු කාලයකට පසු ගොවි ජනතාවට වී සහ බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් ලැබුණා. නැවත කිසිදිනක ගොවියාගේ වී සහ නිෂ්පාදන අසාධාරණ මිලකට මිලදී ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව මැදිහත් වී සාධාරණ මිලක් ස්ථාපිත කරනවා. මෙය මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැංවීම වෙනුවෙන් අපි සිදු කරනවා.
අපි අද හොරකම, වංචාව සහ මහජන මුදල් විනාශ කිරීම නතර කර තිබෙනවා. දේශපාලකයන් ලෙස අපට ලැබී තිබෙන දේ අපි අත්හැර තිබෙන අතර ජනතාවට සියලු දේ ලබාදීමට කටයුතු කරනවා. මීට පෙර පැවති ආණ්ඩු කළේ සියල්ල ඔවුන් අතර බෙදා ගැනීමයි. පාර්ලිමේන්තුවත් ඔවුන් අතර බෙදාගෙන තිබුණා. මේ යුගය අවසන් කිරීම වෙනුවෙන් ශක්තියක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබ ලබා දිය යුතුයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආයතන ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කරන බවට කිසිම සැකයක් නැහැ.
උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය
ඡායාරූප – චන්න ජයවර්ධන