Home » යුගදිවිය අවුල් කරන ග්‍රහයෝ

යුගදිවිය අවුල් කරන ග්‍රහයෝ

by sachintha
April 30, 2025 1:53 am 0 comment

සැපවත් පවුලක පරමාර්ථය වනුයේ ප්‍රීතිය හා සොම්නස බවයි කාගේත් පිළිගැනීම. එය එසේම වන්නේ අප ඉපදුණ මොහොතේ අහසේ උදාවී තිබුණු ග්‍රහ තාරකාවන්ගේ සුබ අසුබතාවන් අනුවය. එම ග්‍රහයන් පිහිටා තිබුණ ස්ථාන අනුවයි අපේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය සකස්වන්නේ. කේන්දරයක් තිබුණත් නැතත් ජ්‍යොතිෂයට පිටුපාන්න අපි කිසිවෙකුටවත් බැහැ.

කේන්දරයක විවාහයක් පිළිබඳ පරීක්ෂා කිරීමේදී හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථානවූ තුන්වැන්නත්, එකොළොස්වැන්නත් විශේෂයෙන් සැලකිල්ලට යොමු විය යුතුය. එමෙන්ම දෙවැනි හා අටවැන්න ද මේ සඳහා විශේෂ බලපෑමක් කරයි. හත්වැන්නාධිපති එකොළොස්වැන්නේ සිටීම බහු විවාහ යෝගයක් ලෙස සලකයි. මෙවැනි යෝගයක් ඇති පුද්ගලයෝ තම විවාහක බිරියගෙන් පමණක් සෑහීමකට පත් නොවන අතර, වෙනත් ස්ත්‍රීන්ගේ ද ඇසුරට පත්වෙති. එමෙන්ම හත්වැන්න අධිපතියා බලවත් අශුභයෙකු වී එකොළොස්වැන්නේ සිටියදී අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීමද විවාහය බිඳවැටීමට හේතුවනු ඇත.

කෙනෙකුගේ කේන්දරයේ ලග්නයේ සෙනසුරු, රාහු, කේතු, අඟහරු යන ග්‍රහයන්ගෙන් කීපදෙනෙකු හෝ එක් ග්‍රහයෙකු සිටියත් ඔහුගේ හෝ ඇයගේ යුග දිවියේ මිහිර වැඩිකලත් නොපවතියි. එසේම, කේන්දරයේ හතේ රාහු, කේතු, අඟහරු යන පාපියෙකු සිටීමද විවාහය අවුල් කරදමන ග්‍රහ පිහිටීමක් වෙයි.

එසේම තවත් විවාහ දිවියට අශුභ පලදෙන ග්‍රහයෝගයක් නම් අඟහරු, ගුරු එකට හත්වැන්නේ සිටීමයි. කුජ, ගුරු හතේ සිටි අයගේ විවාහ ජීවිතය වර්ෂ ගණනකින් නොව දින ගණනකින් හෝ බිඳවැටීමට පුළුවන. චන්ද්‍රයා ධනුවේ සිටියදී හෝ ධනු ලග්නයෙන් ඉපදී හෝ සිටින අයගේ මිථුනයේ කුජ, සිකුරු සිටීමෙන්ද විවාහ කිහිපයක්වී යුගදිවියේ අවුල් තත්ත්වයක් ඇතිවේ. එසේම චන්ද්‍ර, රවි, කුජ යන ග්‍රහයන්ගෙන් කීපදෙනෙකු හෝ එක ග්‍රහයෙකු ධනුවේ සිටියහොත් එයද විවාහ දිවියේ ප්‍රශ්න ඇතිකරන්නකි.

කුජ, සිකුරු වෘෂභයේ වීමත්, එමෙන්ම ශනි, කුජ සප්තමයක් යෙදී තිබීමත් අධික කාමාධිකවීම නිසා වරදේ බැඳීමෙන් යුගදිවියේ අවුල්සහගත බවක් ඇති කරවයි. ලග්නයේ පාපියෙකු සිටියදී චන්ද්‍රයාත් සිකුරුත් පාපීන් සමඟ සිටින තැනැත්තෙකු හෝ තැනැත්තියක සමඟ විවාහයට පත්වීමද විවාහ ජීවිතය පිරිහීමට හේතුවෙයි. ලෙඩදුක් ඇතිවී මරණයට පත්වීමට ද හේතුවිය හැකිය.

කුජ හත්වැන්නේ සිටීමද විවාහයට යහපත් පිහිටීමක් නොවේ. බොහෝවිට නියම වයසට කලින් විවාහයට ඇතුළත්වේ. ඔවුන්ගේ ජීවිත පසුබිම ද යහපත් නැත. තමන් උපයාගත් ධනය නාස්ති කරගනී. එවන්නන් සමඟ යුග දිවියක් ගත කිරීම පහසු නොවේ. ගුරු, ශුක්‍ර ආදී සුබ ග්‍රහ දෘෂ්ටියක් නොලැබ කුජ හතේ නීචව දුර්වල අවස්ථාවක් සිටියොත් දික්කසාද වීමට හෝ වෙන්වීමට හෝ අනෙකාගේ මරණයට පවා හේතුවෙයි.

ස්ත්‍රීන්ගේ කේන්දරයේ හතේ කුජට වඩා පුරුෂයින්ගේ කේන්දරයේ හතේ කුජ නරක අතට බලවත් වෙයි. මහජන විරෝධතාවලට පවා මුහුණපෑමට සිදුවෙයි. රෝගී ද වෙයි. පුරුෂයාගේ හතේ කුජ ස්ත්‍රිය මැරීමට පවා සිත් යොමු කරවයි.

කුජ කටකයේ වීමද විවාහයට එතරම් සුබ නොවේ. නිතර දෙදෙනා අතර වාද විවාද ඇතිවෙයි. ගෘහ ජීවිතය පවත්වාගෙන යෑමට බොහෝ කරදර විඳියි. ජීවිතයේ පසු කාලය ඉතා දුක් කරදර සහිතවේ. දෙවෙනි දෙර්කාණයේ නම් ප්‍රේම සම්බන්ධතා අධික වෙයි. තුන්වෙනි දෙර්කාණයේ නම් සමාදානයට ප්‍රියවෙයි. කුජ වෘෂභයේ සිටින අය අධික කාමාශාවෙන් යුතු අය වෙති. තරුණ වයසේදීම විවාහ ජීවිතයට ඇතුළත් වෙති. ප්‍රේම සම්බන්ධතා තුළින් නොයෙකුත් කරදර ඇතිකර ගනියි. නෑදෑයින් පවා විරුද්ධ කරගනියි. නඩුමඟට බසින්නට වුවමනා කරුණු තමන් විසින්ම ඇතිකර ගනියි. සමාජය සල්ලාලයෙකු සේ සලකයි. මොවුන්ගේ විවාහ ජීවිතයද අසාර්ථක වෙයි. අවසානයේ දරුණු විපත්වලට පවා ගොදුරුවීමට හේතුවේ.

ශනි කටකයේ සිටීමද විවාහ ජීවිතයෙන් තෘප්තියට පත්නොවී මානසික පීඩාවට ලක් වීමට හේතුවක් වෙයි. මේ නිසා ගෘහ ජීවිතයේ නිතර කරදර හා වියවුල් ඇතිවෙයි. අනියම් ප්‍රේම සම්බන්ධවලින් දුක් කරදර හා පාඩුද ඇතිකර ගනී. ලැබෙන දරුවන් පවා නිතර රෝගී වෙති. විවාහය සම්බන්ධ ස්ථානය වූ හත දුර්වලනම් විවාහයෙන් අවනම්බු විඳීමට ද සිදුවෙයි. ජීවිතයේ අවසාන භාගය යහතින් ගත නොවේ. මෙවැන්නන්ට ගිහි ජීවිතයට වඩා තපස් ජීවිතය යහපත් වෙයි.

කේන්දරයක ශනි මංගල යෝගයද විවාහයට අසුබපල දෙන පිහිටීමක්වේ. ශනි මංගල යෝගය යනු කේන්දරයේ කොතැනක හෝ ශනි හෙවත් සෙනසුරු කුජ හෙවත් අඟහරු සමඟ සංයෝගව සිටීම හෝ සප්තමව සිටීමයි. මේ සංයෝගය විවාහ අපේක්ෂිත දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ පිහිටීම අශුභ තත්ත්වයකි. දෘෂ්ටිගත ග්‍රහයෙකුගේ සම්බන්ධ වීමද මෙම යෝගයට අයත් වෙයි. ශනි, කුජ දෙදෙනා විරුද්ධ ගති ඇති නිසා මේ ග්‍රහයින් දෙදෙනාගේ සංයෝගය ඔවුන්ගේ විවාහයට බොහෝවිට බාධාවක් වෙයි. මේ නිසා අසමගිය, හැරයෑම, වැන්දඹුවීම ආදියට හේතුවෙයි. එක් කේන්ද්‍රරයක ශනි මංගල යෝගය පිහිටා අනෙක් කේන්දරයේ එම යෝගය භංගවීමට අවශ්‍ය ග්‍රහ පිහිටීම් නොතිබුණොත් රජ පවුලක වුවත් එම විවාහය බොහෝවිට අසාර්ථක වීමට හේතුවෙයි.

ජ්‍යොතිෂවේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT