Home » හතර අතේ වතුර ඇත, පවස නිවන වතුර නැත

හතර අතේ වතුර ඇත, පවස නිවන වතුර නැත

by sachintha
April 30, 2025 1:57 am 0 comment

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වම්බොටුයාය ගම්මානයට කලක් තිස්සේ පවතින පානීය ජල ගැටලුව හා වනඅලි ගැටලු හා නිසි මාර්ග පහසුකම් නොමැතිවීම හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතා රැසකට මුහුණ දෙමින් සිටින බව ගම්වාසීහු කියා සිටිති.

ධීවර කර්මාන්තයෙන් දිවි සරිකරගන්නා වම්බොටුයායේ බොහෝ පිරිසක් සිය රැකියාව සිදුකරන්නේ බෝවතැන්න ජලාශය ආශ්‍රයෙනි.

ජලය මත රැකියාව කළත් කුඩා දරුවකුට හෝ බීමට සුදුසු ජල බිඳක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ බලධාරින්ට දුක කියන ගම්වැසියන්ට වනඅලි තර්ජන ද මේ දිනවල පවතින බව ගම්මු කියා සිටිති.

‘පායන කාලෙට අපි බෝවතැන්න ජලාශය අසල වළවල් හාරලා වතුර අරන් උණු කරලා දරුවන්ට බොන්න දෙන්නේ’ වම්බොටුයායේ ජීවත්වන මවක් කියා සිටියේ හැඬූ කඳුළිනි. ගමට එන්න හරිහමන් පාරක් නැති මේ ගම්මානයේ බොහෝ පිරිසක් අදටත් ජීවත් වෙන්නේ ඉතා අසීරුවෙනි.

ඡන්ද කාලයට පොරොන්දු පමණක් වී තිබෙන වම්බොටුයායේ ජල ගැටලුව හා වන අලි ගැටලුවට අද වනතුරුත් විසඳුම් ලැබී නොමැති බව ගම්වාසිහු කියා සිටිති.

ගමේ ඡන්දය පැවැත්වෙන්නට දින ගණනක් තිබිය දී සිය නිවෙස්වලට පැමිණෙන අපේක්ෂකයින්ට ද මෙම ගැටලු ඉදිරිපත් කර ඇති බව කියා සිටින ගම්වාසීන් අවධාරණය කර සිටින්නේ හතරවටින් ජලයෙන් වටවූ සිය ගම්මානයට බීමට ජල බිඳක් ලබා දෙන්නේ කවදාද යන්නයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT