Home » කඩවත සතිපොළ අබලන්

කඩවත සතිපොළ අබලන්

by sachintha
April 30, 2025 1:00 am 0 comment

බියගම ප්‍රාදේශීය සභාවට අයත් කඩවත පොදු වෙළෙඳ සංකීර්ණය සහ සතිපොළ අබලන් තත්ත්ව⁣යෙන් පවතින නිසා මෙම ස්ථානයට පැමිණෙන වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ පිඩාවලට පත්ව ඇති බව ප්‍රදේශවාසී ජනතාව පවසති.

මේ වන විට කඩවත පොදු වෙළෙඳ සංකීර්ණයේ සමහර වෙළෙඳසල්වල බිත්ති බොල්වී පුපුරා ඒවායේ වහල කැඩී අබලන් තත්ත්ව⁣යෙන් පවතින බව වෙළඳුන් පෙන්වා දෙති. මීට අමතරව කඩවත සති පොළේ වෙළඳාමේ නිරත වෙළඳුන් එහි තාවකාලිකව ලී කැබලි, තහඩු සහ ඉටි රෙදි යොදා ගෙන තාවකාලික වෙළඳ සැල් ඉදි කර වෙළඳාමේ නිරත වන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මේ වන විට මෙහි නිසි පරිදි ක්‍රමානුකූලව කාණු පද්ධති ඉදි කර නොමැති බැවින් සුථ වර්ෂාවකදී පවා ප්‍රදේශය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙහි ඉදි කර ඇති ඉපැරණි වැසිකිළි පද්ධතියේ සමහර දොරවල් කැඩී අබලන්ව පවතින නිසා මෙම ස්ථානයට පැමිණෙන වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ පිඩාවලට ලක්ව සිටිති.

මීට අමතරව මෙම භූමියේ වෙළෙඳුන්ට පානීය ජලය ලබා ගැනිමට සවි කර ඇති ජල කරාම අසල දිය සෙවල බැඳී අපවිත්‍රව ඇති නිසා ජනතාවගේ මහජන සෞඛ්‍යයට දැඩි බාධා එල්ලවී ඇති බව ප්‍රදේශයේ වෙළෙඳුන් පෙන්වා දෙති. මෙම ස්ථානයට පැමිණෙන විවිධ පුද්ගලයන් විසින් මෙම භූමියට කැළි කසළ බැහැර කිරීම නිසා ප්‍රදේශය අපවිත්‍රව දැඩි දුගඳක් හමන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ස්ථානයට පැමිණෙන වෙළෙඳුන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ රථ වාහන ගාල් කිරීමට රථ ගාලක් ඉදි කර නොමැති බැවින් ප්‍රදේශයේ ජනතාව විවිධ ගැටලුවලට මුහුණපා සිටිති.

ඒ අනුව කඩවත පොදු වෙළඳ සංකීර්ණයේ සහ සති පොළේ පවතින අඩුපාඩු නිසි පරිදි පිළිසකර කර දෙන ලෙසට ප්‍රදේශවාසීන් අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

ගනිඳු රෝචන සමරතුංග

මහර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT