Home » මාතලේ අපේක්ෂකයින්ට ගොවීන්ගෙන් ඉල්ලීමක්

මාතලේ අපේක්ෂකයින්ට ගොවීන්ගෙන් ඉල්ලීමක්

by sachintha
April 30, 2025 1:01 am 0 comment

අවිධිමත් සංවර්ධන ක්‍රියා හේතුවෙන් කුඩා වැස්සකටත් පා ගමනින් පවා ගමන් කළ නොහැකි මාතලේ කුඩා මාර්ග පද්ධති අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් අභිනව පළාත් පාලන අපේක්ෂකයින් වහාම කටයුතු කළ යුතු යැයි ගොවි සංවිධාන රැසක් අවධාරණය කර සිටිති.

වසර ගණනාවක් තිස්සේ පැවති විවිධ රජයන් මඟින් සිදුකරන ලද සංවර්ධන ක්‍රියාවලින් පසු ප්‍රතිසංස්කරණය කළ යුතු හා මෙතෙක් නිමකර නැති මාර්ග රැසක් තවමත් ග්‍රාමීය මට්ටමෙන් පවතින බව මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ගොවි සංවිධාන රැසක් පෙන්වා දෙති.

මෙම මාර්ග කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම ගම්වාසීන්ගේ ගමන් කිරීම් වෙනුවෙන් භාවිත කරන බව ඔවුහු කියා සිටිති.

ඇතැම් දේශපාලකයින් විසින් සංවර්ධනය කර තිබූ මාර්ගය මඟින් බොරලු ඇදීම් වැනි කාරණා සඳහා ග්‍රාමීය මාර්ග භාවිත කිරීම හේතුවෙන් එම මාර්ග මේ වන විට දැඩි අබලන් තත්ත්වයට පත්ව තිබේ.

ගොවි සංවිධාන පෙන්වා දෙන ආකාරයට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑකන්දයාය මාර්ගය තාර දමා අලුත්වැඩියා කර තිබිය දී දේශපාලන අවශ්‍යතා මත එම මාර්ගය මතින් ටිපර් රථවලන් බොරලු ඇදීම හේතුවෙන් විනාශ වී තිබේ.

ඊට අමතරව පල්ලේපොළ, රත්තොට, නාඋල, ලග්ගල, ගලේවෙල හා දඹුල්ල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පිහිටි ග්‍රාමීය මාර්ග රැසක් මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇතැයි ගොවි සංවිධාන පෙන්වා දෙති.

කලින් කලට විවිධ දේශපාලන පක්ෂ විසින් සිදුකරන ලද සංවර්ධන ක්‍රියාවලින් පසු නඩත්තු කටයුතු සිදු නොකරන ලද මාර්ග මෙන්ම කිසිදා සංවර්ධනය නොවූ ග්‍රාමීය මාර්ග රැසක් මාතලේ දිස්ත්‍රික්කය තුළ පවතින බවත් මෙම මාර්ග සංවර්ධනයේ දී ගොවි සංවිධානවල අදහස් හා යෝජනා කෙරෙහිද අවධානය යොමු කරන්නැයි ඔවුහු වත්මන් රජයෙන් මෙන්ම අභිනවයෙන් පත්වීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිති.

ඉන්දික අරුණ කුමාර

නාඋල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT