ජනප්‍රිය හා ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ගැන රසිකයකු ලෙස යම් සටහනක් තබන්නට උත්සුක වෙමි. ඔහු මගේ සිත තදින් උදුරාගත් ගායන ශිල්පියෙකි. මගේ වැඩිම ආකර්ෂණය යොමු වන්නේ ඔහුගේ ගැඹුරු කටහඬ වෙතටය. එය ගැඹුරු එමෙන්ම හැඟුම්බර හඬකි. නියම පිරිමි කටහඬක් යැයි අපේ වචනවලින් කිව හැකිය. සමන් ස්වල්ප කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වූ බව අපි දනිමු. ඔහු එම කාලය තුළ ප්‍රසංග වේදිකාවට නිවාඩු ලබාදුන් බවද අපි දනිමු. අවසානයේ අසනීප තත්ත්වය උච්ඡස්ථානයට පැමිණ සමන් සිය දිවි සැරියට සමු දුන්නේය. අපට එය සිහිනයක් මෙනි. සමන්ගේ හඬ විශේෂ ලෙසින් ම වුවමනා වන්නේ ප්‍රසංග වේදිකාවට යැයි අපට සිතේ. ඔහුගේ හඬ හා ශෛලිය අනුකරණය කළ හැකි සාර්ථක ශිල්පියකු ද අප දැක නැත.
කෙනකුගේ මතයට අනුව සමන් යනු බයිලා ගායකයෙකි. තව කෙනකුගේ මතයට අනුව ඔහු වේග රිද්මයේ ගායනා ඉදිරිපත් කරන ශිල්පියෙකි. තවත් කෙනකුගේ මතයට අනුව සමන් යනු ප්‍රසංග වේදිකාව මත යැපුණු ගායකයෙකි. ඔහුට මෙබඳු සීමා මායිම් තැබීම ගැන අපගේ කැමැත්තක් නැත. සමන් යනු පරිපූර්ණ ගායන ශිල්පියෙකි. ඔහු සතු ස්වරපරාසය පුළුල් ය. ඕනෑම ශෛලියක ඕනෑම ගීයක් හරියට ගායනා කිරීමේ හැකියාව සමන්ට තිබේ. ඒ පමණක් නොව සමන් තමාට අවශ්‍ය ගී – තනු නිර්මාණය කර ගැනීමට සමත් සංගීත ශිල්පියෙකි. මේ සියල්ල සමාලෝචනය කරන විට පෙනී යන්නේ සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ විශාල හිඩසක් තබමින් සමන් ද සිල්වා ජීවිතයට සමු දී ඇති බවය. සමන් සිය දිවිසැරිය නිමා කරන විට හැටනව වැනි වියෙහි පසුවිය.
නූතන පරම්පරාව වෙතින් බිහිවන්නේ කලා තරුය. සංගීත ක්ෂේත්‍රයෙහි නම්; ගායක තරු ය. නැතහොත් ගායිකා තරුය. ඔවුනට රියැලිටි වැඩසටහන් ඔස්සේ එක රැයකින් නැතහොත් එක පැයකින් බැබළීමට අවස්ථාව උදා වී ඇත. නූතන පරම්පරාවට ක්ෂේත්‍රයට පිවිසීමට හා එහි රැඳී සිටීමට ඕනෑතරම් අවස්ථා තිබේ. එහෙත් 1960/1970 දසකවල එබඳු අවස්ථා පැවැතියේ නැත. එදා ගායකයකු වීමට නම් බලවත් කැපවීමක් කිරීමට සිදු විය. අපේ වචනයෙන් කිවහොත් දීර්ඝ කාලයක් කට්ට කෑමට සිදුවේ. ඉවසීමට සිදුවේ. දරාගැනීමට සිදුවේ. සමන් එබඳු කැපවීමක් හා දරා ගැනීමක් සිදුකොට ගායන ක්ෂේත්‍රය ජයගත් ශිල්පියෙකි. ඔහු ක්ෂේත්‍රයට ප්‍රවේශ වන්නේ 1970 ගණන්වලය. බදුල්ලේ සිට කොළඹට සේන්දු වන ඔහු මේ ක්ෂේත්‍රයේ පැවතීම සඳහා බලවත් කැපවීමක් සිදු කර තිබේ. එහි පවත්නා දුක් – ගැහැට – වේදනාව සමන් හොඳින් දනී. තනිව ඉගෙන ගනිමින්, තනිව අවස්ථා සොයමින් ක්ෂේත්‍රයෙහි ස්ථාවර වන්නට සමන්ට කාලයක් ගත විය. ඔහු 1975 සිට වෘත්තීය ගායන ශිල්පියකු ලෙස ජීවිතයට මුහුණ දී තිබේ. සමන් ආදි නාලන්දියකු වන අතර ඔහු ගායක – ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස ද කලක් ක්‍රියා කළේය. ඔහු නිතර අවධාරණය කළ වැදගත් කරුණු කිහිපයක් ඇත.
(I) කලාකරුවාට අදීන ජීවිතයක් තිබිය යුතුය. ඔහුට අදාළ වටිනාකම් සෑම අංශයකින් ම ලැබිය යුතුය.
(II) කලාකරුවා සිය ස්වාධීනතාව හා නිදහස ආරක්ෂා කර ගත යුතුය. ඔහුගේ අභිමානය තහවුරු වන අයුරින් ක්‍රියා කිරීමට වග බලාගත යුතුය.
(III) කලාකරුවාට දේශපාලනයක් තිබිය හැකි වුව ඔහු දේශපාලකයන්ගේ සහචරයකු ලෙස හෝ ඉත්තකු ලෙස හෝ ක්‍රියා කළ යුතු නැත.
(IV) කලාකරුවන්ගේ සුරක්ෂිතතාව සඳහා රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාම වැටුපක් වැනි ක්‍රමයක් ද ඇති කළ යුතුය. එය ශක්තිමත්ව පවත්වා ගත යුතුය.
සමන් ගායක – ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙසින් ක්‍රියා කරන සමයේ පමණක් නොව; ඔහු තනතුරු නොදරන කාලයේ ද ඉහත කරුණු වෙනුවෙන් ජනමාධ්‍ය සමඟ සාකච්ඡා කළේය. ඒවා වෙනුවෙන් පෙනී සිටියේය. ගායකා අසරණ වෙනවාට සමන් කැමැති වූයේ නැත.
සමන්ගේ අදහස් ගායන ශිල්පී ජිප්සීස් හිටපු නායක සුනිල් පෙරේරාගේ අදහස්වලට සමාන යැයි සිතන්නට පුළුවන. දෙදෙනා හොඳ මිතුරෝ වූහ. සම්මුඛ වූ විට පැය ගණනින් සංවාද යයි. කලාකරුවාට අභිමානවත් ජීවිතයක් තිබිය යුතුය යන්න ඔහු තරයේ විශ්වාස කළේය. එය බිඳී යන අවස්ථාවලදී සමන් ඇත්තටම කම්පාවට පත් වූයේය. සංගීත ක්ෂේත්‍රයෙහි සියල්ලන්ම සහයෝගයෙන් හා සහජීවනයෙන් ජීවිතයට මුහුණ දිය යුතු යැයි ඔහු හැමවිටම කියා සිටියේය.
මාක්ස්වාදී කලාවට අනුව කලාකරුවා හැමවිටම වැඩකරන පන්තියේ වින්දනය උදෙසා සිය නිර්මාණ බිහි කළ යුතුය. එම පන්තියේ සුබ – සාධනය උදෙසා ඒවා පවත්වා ගත යුතුය. සමන්ගේ නිර්මාණ වැඩි වශයෙන් රසවින්දේ මෙරට වැඩ කරන පන්තිය යැයි අපට සිතේ. ඔවුහු ඒවා වින්දනය කළා පමණක් නොව; ශබ්ද නඟා ගායනා කළෝය.
රන්ජන්