Home » රෝයල් පාක් ඝාතන සිද්ධියේ ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවේ නෑ

රෝයල් පාක් ඝාතන සිද්ධියේ ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවේ නෑ

- එරටින් දැනුම් දුන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

by sachintha
April 30, 2025 1:25 am 0 comment

රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවෙන් නිදහස ලබා රටින් පලා ගිය ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා මේ වන විට සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ලංකා රජයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම ජනාධිපති සමාව ලබාදීමට එරෙහි පෙත්සමක් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම වගඋත්තරකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවය.

ඔහු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවය. ඒ අනුව ඔහු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද රජයේ නීතිඥවරයා පැවසීය. ඔහු බැංකු හරහා මූල්‍ය ගනුදෙනු කර තිබේ ද යන්න පිළිබඳ විමර්ශනය කරන බව ද රජයේ නීතිඥවරයා කීය.

මෙම නඩු තීන්දුව ලබාදී වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා සඳහන් කළේය.

මෙම වගඋත්තරකරු පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා කරුණු සොයා බැලුවේ දැයි විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා රජයේ නීතිඥවරයාගෙන් එහිදී ප්‍රශ්න කළේය.

ආගමන හා විගමන පාලකවරයාගෙන් වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රජයේ නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ගැනීමට කටයුතු යොදා තිබුණ ද මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව මහාධිකරණයෙන් සොයා ගැනීම පමාවීම හේතුවෙන් එම කටයුතුවල යම් පමාවක් ඇති වී තිබෙන බව ද රජයේ නීතිඥවරයා පැවසුවේය.

කෙසේ වෙතත් නොපමාව මහාධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන අතර එම උත්සාහය සාර්ථක නොවුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම යළි ජූලි මස 28 වැනිදා කැඳවීමට නියම කළේය.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කෙරිණි.

කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජූඩ් ශ්‍රමන්ත නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට මීට පෙර තීන්දු කළේය.

ඒ අනුව එම ජනාධිපති සමාව බලරහිත කරන ලදි.

ඉන් අනතුරුව මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නීතිපතිවරයාට නියම කර තිබිණි.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT