Home » පුතාගේ උසස් පෙළ ප්‍රතිඵල අසා පැය කීපයකින් කෝකිල දෑස් පියාගත්තා

පුතාගේ උසස් පෙළ ප්‍රතිඵල අසා පැය කීපයකින් කෝකිල දෑස් පියාගත්තා

-බිරිය පුතා හා දුවත් රෝහලේ හැඬු කඳුළින් බිරිය කියයි

by sachintha
April 30, 2025 1:30 am 0 comment

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පදිංචිව සිටි මාධ්‍යවේදී කෝකිල සමීර ජයරත්න මහනුවර නගරයේ සිටින කවුරුත් දන්නා හඳුනන අව්‍යාජ ගතිගුණවලින් පිරි ප්‍රියමනාප පුද්ගලයෙකි. සිහින් සිරුරකින් හෙබි කෝකිල දිනපතාම වාගේ උදෑසන අපට මුණ ගැසෙන්නේ කතරගම දේවාලය ආසන්නයේ පදික වේදිකාවේ පත්තර අලෙවි කරන සමන්ගෙන්, පත්තරයක් අරගෙන කියවමින් සිටියදීය. පසුගිය 09 වැනිදා උදෑසන මා ද පුවත්පතක් මිලට ගැනීමට එම ස්ථානයට ගියත් සුපුරුදු පරිදි කෝකිල එතන හිටියේ නැත. කෝකිල ආවා දැයි මම විමසා සිටි නමුත් ඔහු පැමිණියේ නැති බව මට දැනගන්නට ලැබිණි.

ටික වේලාවකින් මට දැනගන්නට ලැබුණේ කෝකිලත් ඔහුගේ බිරියත්, පුතා හා දුව පසුගියදා (08) රාත්‍රියේ රිය අනතුරකට ලක් වී රෝහල්ගතව සිටින බවයි. කෝකිල මහනුවර ජාතික රෝහලේ 24 වාට්ටුවේත්, ඔහුගේ බිරිය හා දියණිය 12 වාට්ටුවේත්, පුතා 11 වාට්ටුවේත් ප්‍රතිකාර ලබමින් සිටින බව පසුව දැනගත් මා ඔවුන් බැලීමට වහා පිටත්ව ගියෙමි. ඇඳේ උඩුබැලි අතට වැතිර සිටි කෝකිල මා දුටු සැණින් සිනාමුසු මුහුණින් යුතුව කියා සිටියේ ‘බලන්නකෝ අපිට වෙච්ච දේ. ගෙදර ඔක්කොම ඉස්පිරිතාලේ’ කියාය. ඒ වන විට ඔහුගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව මා සමඟ පැවසූ කෝකිල කකුල්වල ඇඟිලි නවමින් දිග හරිමින් කියා සිටියේ, ‘ලොකු ඩැමේජ් එකක් වෙලානම් මෙහෙම ඇඟිලි නවන්න දිග හරින්න බැහැනේ නේද’ කියා ය.

පසුව ඔහු අනතුරට මුහුණ පෑ අයුරු මෙසේ විස්තර කළේය.

‘අපේ දුවට කැස්සක් තිබුණා. පස්සේ මමයි නෝනයි, පුතයි, දුවයි 8 වැනිදා රාත්‍රී ත්‍රීවිලරයකින් උඩපාරේ තියෙන පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගන්න ගියා. බෙහෙත් අරගෙන අපි හතර දෙනා පාරේ දකුණු පැත්තෙන් නුවර පැත්තට පයින්ම ආවා. එහෙම එනකොට මම හිතන්නේ මම තමයි ඉස්සරහින්ම ආවේ. එකපාරටම මොකක්දෝ වේගෙන් ඇවිත් අපිව යට කෙරුවා. පස්සේ මට සිහිය නැති වුණා. සිහිය ආවම මම දැක්කා අපි රෝහලට අරගෙන යනවා. එදා රෑ නවයට නවය හමාරට විතර තමයි මේ අනතුරට මුහුණ දුන්නේ. රෝහලට අරන් ගිය ගමන් පරීක්ෂණ ගොඩක් කළා. මට එච්චරම අමාරුවක් නැහැ. මට දුක නෝනයි, පුතයි, දුවයි තුන්දෙනාට වෙච්ච දේ ගැන. අවුරුදුත් එනවා කමක් නැහැ. සනීප වෙනකල් ඉන්නවා. මේක හොඳ වුණාම අවුරුදු වගේ තමයි. මම දළදා ප්‍රදර්ශනය සම්බන්ධව ඊයේ පත්තරේට ලිපියක් දැම්මා. එක පළවෙලාද කියලවත් බලන්න බැරි වුණා’ එහෙම කියල කෝකිල සුපුරුදු පරිදි මා සමඟ සිනාසුණේය. මා පැයක් පමණ කෝකිල සමඟ කතාබහ කරමින් සිට ගෙදර ආවෙමි. පසුව කිහිපවරක් මා ඔහුගේ දුරකතනයට කතා කළෙමි. නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත. කෙසේ වෙතත් 28 වැනිදා පාන්දර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කෝකිල මියගිය පුවත මට දැනගන්නට ලැබිණි. පසුව, මා කෝකිලගේ දේහය තබා තිබුණු අම්පිටිය පිච්චමල්වත්තේ පිහිටි ඔහුගේ වැඩිමල් සොහොයුරියගේ නිවෙසට ගියෙමි. කෝකිලගේ දයාබර බිරිය හැඬු කඳුළින් යුතුව කියා සිටියේ ‘ අපිට මොනවද මේ වුණේ ‘ යනුවෙනි.

කෝකිලගේ බිරිය ගුරුවරියක්. ඇය මුලින් ඉගැන්නුවේ මාවනැල්ල පැත්තේ විදුහලක. ඇය පේරාදෙණිය සරසවි උයන විදුහලට මාරුවීමක් ලැබ පැමිණියේ මාසයකට පමණ පෙරය. ඇගේ එම ස්ථාන මාරුව ලැබෙන තෙක් දරු දෙදෙනා රැක බලාගෙන උදේ සවස පාසල් වෙත රැගෙන ගියේ කෝකිලය. දහසකුත් එකක් වැඩ රාජකාරි කරන අතරේ කෝකිල පුවත්පත් දෙකක හා ගුවන්විදුලි සංස්ථාවට පුවත් සපයන්නකු ලෙස කටයුතු කළේය.

මහනුවර ධර්මරාජ විදුහලේ දීප්තිමත් ආදි සිසුවකු වන කෝකිල සමීර ජයරත්න දළදා පෙරහර ගැන, උඩරට නැට්ටුවන් ගැන, බෙර වාදකයන් ගැන, මාලිගාවේ ඇත් පන්තිය ගැන මෙන්ම මහනුවර අවට සිටි ජනප්‍රිය පුද්ගලයන්ගේ චරිත ගැන මෙන්ම පේරාදෙණිය සරසවියේ ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගෙන පුවත්පත්වලට ලිපි රාශියක් ලියා තිබිණි.

මාධ්‍යවේදී කෝකිල සමීර ජයරත්න මියයනවිට 53 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (29)දින පස්වරු 02.30 අම්පිටිය මැද්දේපතන පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතව තිබුණි.

කෝකිලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිය කියා සිටියේ මහනුවර ධර්මරාජ විදුහලේ අධ්‍යාපනය හදාරන පුතාගේ උසස පෙළ ප්‍රතිඵල 26 රෑ දැනගත් බවත් විභාග ප්‍රතිඵල කෝකිලට කිව්ව බවත් ඇත්තට ම එයා පුතාගේ ප්‍රතිඵල අසා එදා හරියට සතුටු වුණු බවත්ය. රිය අනතුරට මුහුණදුන් දියණියට තවමත් සුවයක් නොමැති බව පැවසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීමට නියමිතව තිබෙන බවයි.

කෝකිලගේ ජීවිතය උදුරාගත් මෙම රිය අනතුර සම්බන්ධයෙන් අපි පෙරේදා (28) දින මහනුවර පොලීසියේ රථවාහන අංශයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ අනතුරට මුහුණ පෑ කෝකිල ඇතුළු පිරිස පේරාදෙණිය දෙසින් මහනුවර දෙසට පාරේ දකුණු පසින් ගමන් කරමින් සිටිය දී පේරාදෙණිය දෙසින්ම වම් මංතිරුවේ මහනුවර දෙසට ධාවනය වෙමින් පැවති ලොරි රථයක් එම මංතීරුවෙන් පිටතට පැන දකුණු මංතිරුවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිසක් යටකරගෙන ධාවනය වී ඇති බවයි. එදා සිදුවූ අනතුරින් කෝකිල හා ඔහුගේ පවුලේ අය ඇතුළු මහමග ගමන් ගත් 12 දෙනෙකුට පමණ තුවාල සිදු වී රෝහල් ගතකළ බවයි.

අනතුර සිදු කළ බව පැවසෙන පූජාපිටිය බටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසෙන ලොරි රථයේ රියැදුරු අනතුර සිදු වූ දිනයේ අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවය. රිය අනතුර සම්බන්ධව රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.කෝට්ටගේ මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබති.

කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT