Home » මාලමුල්ලේ කොටහළු ගෙදරකට වෙඩි වරුසාවක් එක් අයෙක් මරුට : දෙදෙ‍ෙනකුට බරපතළයි

මාලමුල්ලේ කොටහළු ගෙදරකට වෙඩි වරුසාවක් එක් අයෙක් මරුට : දෙදෙ‍ෙනකුට බරපතළයි

by sachintha
April 30, 2025 1:36 am 0 comment

දැරියක වැඩිවියට පත්වීම සම්බන්ධයෙන් පාණදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ සාදයක් පැවති නි‍ෙවසකට ඊයේ (29) අලුයම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇතැයි හිරණ පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ පාණදුර, මාලමුල්ල, පින්වල ප්‍රදේශයේ පදිංචිව සිටි කසුන් හරිස්චන්ද්‍ර නමැති අයෙකි.

වෙඩි තැබූ ස්ථානයේ වැටී තිබී හිස් ටී 56 උණ්ඩ කොපු 4 හා ජීව උණ්ඩ 01ක් පොලීසිය මඟින් සොයාගෙන ඇත.

දැරිය වැඩිවියට පත්වීමේ උත්සවයට සහභාගී වී සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නමැත්තාගේ මස්සිනා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා උත්සවය පැවති නි‍ෙවස ඉදිරිපිට මාර්ගයේ තවත් පිරිසක් සමඟ නර්තනයේ යෙදෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් පසුපැදිකරු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට ඝාතනයට ලක්වූ පුද්ගලයා වෙඩික්කරුවන් වෙත ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

වෙඩි පහර කීපයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයකටද වැදී ඇත.

වෙඩි තැබීමට පෙර වෙඩික්කරුවන් යතුරුපැදියේ නැඟී එම මාර්ගයේ ඒ මේ අත ගමන් කර ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මෙරටින් පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘පාණදුර කුඩු සළිඳු’ ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මේ දිනවල අඩාළ වීමට ප්‍රධාන හේතුව නිලංග නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඔහුගේ මස්සිනා වීම බවත් ඒ හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමට මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවත් පොලීසිය සැක කරයි.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසියට අමතරව විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ සහ පාණදුර සංචාරක – සුමිත් පොතුපිටිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT