Home » ගොවි සංවිධාන 1000කට මිලියන 1000ක්: ගොවිබිමට පුනරුදය වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

ගොවි සංවිධාන 1000කට මිලියන 1000ක්: ගොවිබිමට පුනරුදය වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

by sachintha
April 30, 2025 1:56 am 0 comment

ගොවි සංවිධාන 1000ක් වෙත ව්‍යාපෘති 1000ක් සඳහා රුපියල් මිලියන 1000ක් ලබාදෙන ‘ගොවිබිමට පුනරුදය’ වැඩසටහන ඊයේ (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1000ක් විසින් ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂිමාර්ග ඉදිකිරීම, ඇළවේලි ඉදිකිරීම් සහ පිළිසකර කටයුතු ඇතුළු ව්‍යාපෘති 1000ක් සඳහා යෝජනා ඉදිරිපත් කළ අතර මේ යෝජනා සඳහා ඇස්තමේන්තු සකස් කර එම ගොවි සංවිධාන වෙතම කොන්ත්‍රාත් ප්‍රදානය මහවැලි ඩී කලාපයේදී මැයි මස 15 වැනිදා සිදු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා පැවසුවේ ගොවිතැනේදී ගොවිජනතාවට ගැටලුවක්ව පවතින විවිධ පුනරුත්ථාපන කටයුතු මෙන්ම පිළිසකර කටයුතු සිදු කරදෙන ලෙස ගොවි ජනතාව විසින්ම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒවා පිළිසකර කිරීම ගොවි සංවිධාන මැදිහත්ව සිදු කිරීම මේ වැඩසටහනේ විශේෂත්වය බවත්ය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබාගත්තා. ඔවුන්ගේ ගොවිබිම්වලට විය යුතු වැඩ මොනවාද කියා. ගොවි සංවිධාන 1000කින් අපට යෝජනා ඉදිරිපත් වී තිබුණා. ගොවිබිම්වල ඇළවේලි ඉදිකිරීම්, කෘෂිමාර්ග ඉදිකිරීම් ඇතුළු, ගොවි සංවිධානවලට කර ගැනීමට නොහැකි කටයුතු රැසක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී තිබුණා. ඒ සඳහා ඇස්තමේන්තු සකස් කරමින් තිබෙනවා. ගොවි සංවිධාන 1000ක් ව්‍යාපෘති 1000ක් සඳහා උපරිමය රුපියල් මිලියනයකට යටත්ව රුපියල් මිලියනයක් මේ සඳහා වෙන් කෙරෙනවා.

මේ ‘ගොවිබිමට පුනරුදය’ වැඩසටහනේ විශේෂත්වය වන්නේ මේ යෝජනාව සිදු කරන්නේ ගොවි සංවිධාන වීමයි. මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේත් ගොවි සංවිධානයි. මේ නිසා මේ ප්‍රතිපාදන ලබා දෙන්නේ ගොවි සංවිධානවලටයි. දැනට මේ ඇස්තමේන්තු මහවැලි අධිකාරියට ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. මැයි මස 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ගොවි සංවිධාන වෙත පිරිනැමීමට බලාපොරොත්තු වෙනවා.’

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වසන්ති සෙනෙවිරත්න මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT