Home » ඖෂධ හිඟයක් නෑ: මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා

ඖෂධ හිඟයක් නෑ: මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා

- ඇමැති නලින්ද කියයි

by sachintha
April 30, 2025 1:59 am 0 comment

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් පළ කෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මාස තුනහමාරකට ප්‍රමාණවත් පරිදි ඉකුත් අප්‍රේල් 12 වැනිදා මෙරටට ඉන්සියුලින් ගෙන්වා ඇති බව පැවැසූ ඒ මහතා එමෙන්ම එළැඹෙන සති දෙකක කාලය තුළදී තවත් මාස 2කට ප්‍රමාණවත් ඉන්සියුලින් මෙරටට ආනයනය කරන බව පැවසීය.

රජය විසඳුම් ලබාදෙමින් සිටින්නේ, පෙර පැවැති ආණ්ඩු ඖෂධ ආනයනයේදී මතුකරගත් ගැටලු සඳහා බව ඇමැතිවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව මෙම ගැටලු සමාලෝචනය කර ඖෂධ ඇණවුම් කළ ද, ටෙන්ඩර් පටිපාටිය අනුව එම ඖෂධ ලැබීමට මාස 6 සිට මාස 9ක කාලයක් ගත වන බවත්, එම කාලය තුළදී ආධාර සහ රටවල් අතර වන එකඟතා අනුව ඖෂධ හිමිවන බවත් හෙතෙම පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“මේ වෙලාවේ ජාතික අවශ්‍යතාව ගැන හිතලා පැරණි විදියට කටයුතු කරන්න සූදානම් වෙන්න එපා. ඔබට පුළුවන් උපරිමයෙන් සැපයුම් කරන්න. එහෙම නොකරන අය ගැන අපි ලියාපදිංචියේදී සලකා බලනවා.

ඒ වගේම අපි රටවල් රටවල් අතර සෘජුවම ඖෂධ ලබා ගැනීම සඳහා මැදිහත් වෙනවා. විටින් විට පැනනගින හිඟයට අපි උත්තර ලබා දෙනවා. වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට ඖෂධ සපයන එක විතරක් නෙවෙයි කරන්නේ. පෞද්ගලික වෙළෙඳ පොළෙත් ඖෂධ තිබෙනවා. ඒ පෞද්ගලික වෙළෙඳපොළේ පවතින ඖෂධ මිලදී ගැනීම සඳහා රජයේ රෝහල්වලට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ තැනත් හිඟ වුණොත් තමයි හිඟයක් පවතිනවා කියන්න පුළුවන් වෙන්නේ. අපි නම් කරලා තිබෙන ඖෂධ 862න් ඔනෑම මොහොතක යම් යම් ඖෂධවල හිඟයක් පවතින්න පුළුවන්.

සමහර හිඟ කියන්නේ සමස්ත හිඟ නෙවෙයි. අපි ළඟ ඖෂධ නැති වුණාට ප්‍රාදේශීය පර්යන්ත ගබඩාවල තියෙනවා. කවුරුහරි උඩ මට්ටමෙන් බලලා නැහැ කිව්ව පළියටම එය වැරැදිම උත්තරය නෙවෙයි. ඒක අපිට වැදගත් සැපයුම සඳහා මැදිහත් වෙන්න.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් හදන සමහර ප්‍රවෘත්ති පිටුපස තිබෙන්නේ අවංක ඇත්ත ඖෂධ ගෙන්වා ගැනීම සඳහා වුවමනාවක් නෙවෙයි. හදිසි මිලදී ගැනීම් සඳහා මතයක් හදලා වැඩි මිලට ගෙන්වා ගැනීම සඳහා වන උපක්‍රමයක් ඔය තුළ පවතිනවා.

මේ හිඟය සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී ඒ සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ කවුද? ඒ පිටුපස ඉන්නේ කවුද? වාර්තා කරන්නේ කවුද? කියන එක ගැනත් හිතලා බලන්න. නැත්නම් ඔබ අපරාදේ, ඔබ නොදන්නා කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු වෙනවා. ඔබ මාෆියාවේ ගොදුරක් බවට පත් වෙනවා.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT