Home » කතරගම ජී. රාජපක්ෂ නිවෙස: ලංගම හිටපු උප සභාපතිට ඇප

කතරගම ජී. රාජපක්ෂ නිවෙස: ලංගම හිටපු උප සභාපතිට ඇප

by sachintha
April 30, 2025 12:29 am 0 comment

කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයකට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදි කර ඇති රාජපක්ෂවරයකුට අයත් බව කියන කාමර 12ක පමණ වූ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයකු වන එල්.ඒ. විමලරත්න මහතා ඊයේ (29) අත්අඩංගුවට ගත්තේය.

තිස්සමහාරාම අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තිස්සමහාරාම දිසා විනිසුරු තරිඳු සමීර ද සිල්වා මහතා නියෝග කරන ලදි.

ප්‍රශ්නගත ගොඩනැඟිල්ල ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ මොහු විසින් බවට විමර්ශනවලින් අනාවරණය වීම සහ ජී. රාජපක්ෂ නමින් විදුලිය හා ජලය අනීතික ලෙස ගැනීමට පවා කටයුතු සම්බන්ධීකරණය කර ඇති බව හෙළි වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

2008, 2009, 2010, 2011 යන වර්ෂවල මෙම ගොඩනැඟිල්ලෙහි කෙරුණු ඉදිකිරීම්වලදී සේවකයන්ගේ පඩිනඩි පවා ගෙවා ඇත්තේ මොහු බවට ද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් දෙවැන්නා වන්නේ මොහුය.

පසුගිය 09 වැනිදා කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ද ඇප මත නිදහස් කෙරිණි.

මැණික් ගඟ ආසන්නයේ ඇති එම නීති විරෝධී ඉදිකිරීමට අක්‍රමවත් ලෙස අනුමැතිය දීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ගොඩනැඟිල්ලට ජී. රාජපක්ෂ නමින් විදුලි බිලක් සහ ජල බිලක් ලැබෙන බැවින් සැක කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා මෙම ගොඩනැඟිල්ලෙහි හිමිකරු බවය.

මෙම ගොඩනැඟිල්ල යුද්ධය නිම කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා කතරගම පැමිණි අවස්ථාවේදී විවේක ගැනීමට ඉදිකළ එකක් බවත් එය ඉදිකරනු ලැබුවේ කතරගම කිරිවෙහෙරේ හිටපු විහාරාධිපති හිමියන් බවත් පසුව කියැවිණි. ඒ වන විටත් එම විහාරාධිපති හිමියන් අපවත්ව සිටි බැවින් මේ සම්බන්ධයෙන් වත්මන් විහාරාධිපති හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. එහිදී මෙම ගොඩනැඟිල්ලෙහි යතුරු විහාරාධිපති හිමියන් විසින් භාරදී ඇත්තේ එය තමන්ට හෝ විහාරයට අයත් එකක් නොවන බව සඳහන් කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට මෙම ගොඩනැඟිල්ලට හිමිකරුවකු ඉදිරිපත් නොවන බැවින් ඉදිරියේදී එය රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට සම්බන්ධ රැසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කරනු ලැබීය.

 

ගයාන් කුමාර වීරසිංහ,

කතරගම – කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT