Home » ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට රට ගමන් තහනම්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට රට ගමන් තහනම්

by sachintha
April 30, 2025 12:32 am 0 comment

 

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (29) නියෝගයක් නිකුත් කළාය.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478,307.03ක් වටිනා අයිෆෝන් දුරකතනයක් හා අයිපෑඩයක් හා චාජරයක් මෙන්ම ඇපල් මැක්බුක් පරිගණයක් සහ එහි චාජරය සාපරාධී සාවද්‍ය පරිහරණය කර ඇති බවට කෙරන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම විදෙස් ගමන් තහනම පනවනු ලැබීය.

සැකකාර තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද මින් පෙර නියෝගයක් ද අධිකරණය මඟින් කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලන විසින් 2024 ඔක්තෝබර් මස 21 වැනිදා කොටුව පොලීසියට කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

2019.11.19 වැනි දින සැකකරු සේවයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මේ භාණ්ඩ භාර දී නොමැති බවට පැමිණිල්ල ලැබී ඇත.

2024.11.01 වැනිදා සැකකරු කොටුව පොලීසියට පැමිණ ප්‍රකාශයක් දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනිඕඩර් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත් ඔහු වෙත යොමු කර ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළාය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT