ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලෝකයට ගෙනයාමේ අරමුණින් ලොව පුරා රටවල් 12ක සහභාගිත්වයෙන් ඉතිහාසයේ පළමු වරට ලෝක අවුරුදු කුමරා සහ කුමරිය තරගයක් මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි මූලික තරග ඒ ඒ රටවල පැවැත්වෙන අතර අවසන් මහා තරගය එම රටවලින් තෝරා ගනු ලබන තරගකරුවන් තරගකාරිනියන්ගේ සහභාගිත්වයෙන් මෙරට නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ජූලි 26දා පැවැත්වීමට නියමිතය.
සිංහල දමිළ අලුත් අවුරුදු කේන්ද්‍ර කර ගනිමින් 2025 සිට වාර්ෂිකව මෙය පැවැත්වීමට සැලසුම් කෙරේ. ලාංකීය සංස්කෘතිය සහ අභිමානය මැනවින් පිළිබිඹු වන මෙය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධාන කරන මෙය ලෝකයේ ප්‍රධාන රටවල් දොළහක සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
ප්‍රංශය, රුමේනියාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ඉතාලිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ ජපානය, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලිය සඳහා තරුණ තරුණියන් ඉදිරිපත් වේ.
ප්‍රංශය, රුමේනියාව, අමෙරිකා එක්සත් ජනපදය රටවල මෙහි මූලික තරග මේ වන විටත් පවත්වා ඇති අතර මැයි 20දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීත්, මැයි 25දා නවසීලන්තයේදීත්, මැයි 31දා එක්සත් ජනපදයේදීත්, ජුනි 07දා ඉතාලියේදීත්, ජුනි 21දා මෙරටදීත්, ජුනි 27දා කැනඩාවේදීත්, ජූලි 05 දා ඔස්ට්‍රේලියාවේදීත්, එදිනම දකුණු කොරියාවේදීත් හා ජූලි 12දා ජපානයේදීත් මූලික තරග වට පැවැත්වීමට නියමිතය.
සුදුසු විනිශ්චය මණ්ඩලයක් සහ අනු කමිටුවක් යටතේ අවසාන මහා තරගාවලිය ජුලි 20දා සිට ජූලි 27දා දක්වා මෙරට ආකර්ෂණීය ප්‍රදේශ ගණනාවක් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබේ. මාස ගණනක් පුරා පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 26 දා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී අති උත්කර්ෂවත්ව පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළ එළිදැක්වීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ, “ලෝක අවුරුදු කුමරා කුමරිය 2025Ó තරගාවලියේ ප්‍රධාන අනුශාසක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු හා ප්‍රවීණ සිනමා නිළි සංගීතා වීරරත්න යන මහත්ම මහත්මීහු මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.
එමෙන්ම මෙහි නිර්මාතෘ ජාත්‍යන්තර අධ්‍යක්ෂ හා මන්ත්‍රා එන්ටර්ටේට්මන්ට් අධිපති නිරාන් අසංක විතානගේ, අවුරුදු කුමරා කුමරිය 2025 නිර්මාතෘ හා ජාත්‍යන්තර අධ්‍යක්ෂ ලලිත් පැරකුම්, මන්ත්‍රා එන්ටර්ටේට්මන්ට් කළමනාකාර අධ්‍යක්ෂිකා නිකී සිල්වා, ජාත්‍යන්තර නර්තන රචක රුක්මල් සේනානායක, ජාතික සංවිධායිකා ලක්ෂානි අබේසිංහ, ජාතික සම්බන්ධීකාරක එම්. ලිලානි කුමාරි, ලෝක අවුරුදු කුමරා කුමරිය 2025 තරගාවලියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක ඉන්දික පොල්කොටුව, තරගාවලියේ ආරක්ෂක ප්‍රධානී හිලරි ඇන්තනී දෙනිපිටිය, ජ්‍යෙෂ්ඨ අලෙවි උපදේශක බිනෝයි හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
සමන්මලී ප්‍රියශාන්ති