ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම් සහ සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතර සබඳතාව ඉහළ නැංවීම සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ජාලකරණ වැඩසටහනක් පවත්වා තිබේ.
ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් එක් වේදිකාවකට ගෙන ඒම, අදහස් බෙදා ගැනීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ උන්නතියට සහාය වීමේ ක්‍රම ගවේෂණය කිරීම හා ඔවුන්ට හැකියාව ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
තොරතුරු තාක්ෂණ අංශය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඉතා වැදගත් වන අතර එය සැලකිය යුතු විදේශ විනිමය උපයන්නා සහ රැකියා උත්පාදනය කරන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ක්‍රියාකරන බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා පෙන්වා දී තිබේ.
කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ දූෂණය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවයක් ලෙස ඩිජිටල් පරිවර්තනය සැලකෙන බව පෙන්වා දී තිබෙන ඒ මහතා මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය, පෞද්ගලික අංශය, අධ්‍යාපන ආයතන සහ සිවිල් සමාජයේ සහයෝගී උත්සාහයක් අවශ්‍ය බවද සඳහන්කර ඇත.
සිංගප්පූරුවේ IBM, Oracle සහ HP වැනි කීර්තිමත් සමාගම්වලට අනුබද්ධ සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෙම උත්සවයේ දී ඔවුන්ගේ අදහස් සහ අත්දැකීම් බෙදාගෙන තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට සහාය වීමේ හැකියාවන් ගවේෂණය කිරීමට ද ඔවුහු එකඟ වී ඇත.
ආසියාවේ විශාලතම සහ වඩාත්ම ගෝලීය තාක්ෂණික, ඩිජිටල් ආයෝජන උත්සවය වන Gitex Asia 2025 ට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයින් සිංගප්පූරුවට පැමිණි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මහින්ද අලුත්ගෙදර