Home » ශ්‍රී ලංකා – පාකිස්ථාන උපායමාර්ගික සබඳතාවන් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා – පාකිස්ථාන උපායමාර්ගික සබඳතාවන් ශක්තිමත් කරයි

by chanaka
April 30, 2025 9:31 am 0 comment

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ කැපවීමක් සනිටුහන් කරමින් 5 වන වාර්ෂික ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගියදා (28) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ විය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙවර ආරක්‍ෂක සංවාදයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා ද එක්ව සිටී. පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ප්‍රමුඛ පාකිස්ථාන නියෝජිත පිරිසක් ඊට සහභාගී විය.

මෙම ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පැවැත්වෙන දෙවන දිනය වන ඊයේ (29) එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Khawaja Muhammad Asif මැතිතුමා මුණගැසුණු අතර, ඔවුන් මෙම අවස්ථාවේ සුහද සංවාදයකද නිරත විය.

දෙරටේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවැත්වෙන මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම, කලාපීය ආරක්‍ෂක ගතිකතාවයන් පිළිබඳ අන්‍යොන්‍ය අවබෝධය ඉහල නැංවීම සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම අරමුණ කෙරේ. දෙරට අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ මුල්බැසගත් දිගුකාලීන හා ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනු ලබයි. දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වන හවුල්කාරිත්වයේ වැදගත්කම මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ මනාව පිළිබිඹු වේ.

අද (අප්‍රේල් 30) දින අවසන් වීමට නියමිත මෙම තෙදින සංවාදය ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවන් ශක්තිමත් කිරීමට සහ වඩාත් පුළුල් කලාපීය ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාවන් හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT