Home » රජයේ රෝහල් තුළ කිසිදු ඖෂධ හිගතාවයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ – ඇමැති නලින්ද

රජයේ රෝහල් තුළ කිසිදු ඖෂධ හිගතාවයක් ඇති වීමට ඉඩ තබන්නේ නැහැ – ඇමැති නලින්ද

by chanaka
April 30, 2025 4:56 pm 0 comment

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ කිසිදු ආකාරයකින් ඖෂධ හිගතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත් ව ක්‍රියාත්මකවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අතර පැවති විශේෂ හමුවක් අතරතුර දී ය. හමුව පසුගිය දාසෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රතත්වය තව තවත් වර්ධනය කරගැනීම සහ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබදවත් එමෙන් ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භයේ දී ම අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට විශේෂ ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයක දී ම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසී ය. ඊට අදාළ ඉදිරි පියවරයන් ක්‍රියාත්මක කිරීම සදහා චීන තානාපතිවරයා විසින් අමාත්‍යවරයා දීර්ඝ ව දැනුවත් කිරීමට ද මෙහි දී පියවර ගන්නා ලදී.

ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ, නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

චීන රාජ්‍යයේ සිටින ආයෝජකයින්ට මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මෙරටට පැමිණෙන ලෙසට අමාත්‍යවරයා විසින් මෙහි දී ඉල්ලීමක් ද සිදුකළ අතර ඒ පිළිබඳව චීන රජය දැනුවත්කර ඉදිරි කඩිනම් පියවර ගන්නා බව චීන තානාපතිවරයා මෙහි දී පැවසී ය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙරට ඖෂධ නිෂ්පාදනය කරනු ලබන එකම රාජ්‍ය ආයතනය බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ආයතනය තුළින් උපරිම ධාරිතාවයකින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට වර්තමානයේ කටයුතු කරන බවත්, දේශීය ඖෂධ නිෂ්පාදකයන් දිරිගන්වමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය නිබඳවම ලබා දීම නව රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඖෂධ සදහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළට අනූව ඉදිරියේ දී මෙරට පෞද්ගලික වෙළදපොල තුළ ද ඖෂධ සැලකිය යුතු මුදලකින් අඩුකිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙරට සුව සත්කාර සේවාවට අවශ්‍යවන අත්‍යවශ්‍ය ඖෂධ නාමලේඛණය අමාත්‍යවරයා විසින් මෙහි දී තානාපතිවරයා වෙත පිළිගැන්වූ අතර චීන රාජ්‍ය සමඟ සාකච්ඡා කර ඊට අදාළ සුභදායි පිළිතුරක් කඩිනමින් අමාත්‍යවරයා වෙත ලබාදෙන බවට චීන තානාපතිවරයා මෙහි දී අමාත්‍යවරයාට සහතික විය.

ශ්‍රී ලංකාවට කුමන අභියෝගයන් පැමිණිය ද එම අභියෝගයන්වලට සාර්ථකව මුහුණ දීමේදී අවශ්‍යවන නිබඳ සහය ළඟම මිතුරා ලෙසින් චීන රජය ලබා දෙන බව ද, විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේත්, ආර්ථික අර්බුදය හමුවේත් මෙරටට ලැබුණු සහයෝගය ඉතා ප්‍රශංසනීය බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී තානාපතිවරයාට පැවසීය.

එමෙන් ම චීන රජයේ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරුණු අතරඅඩු පිරිවැයකින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන මානුෂීය වැඩපිළිවෙළචීන තානාපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවාදීව ජනතා සුභසිද්ධියම ප්‍රමුඛ කරගනිමින් ගෙන යනු ලබන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා චීන රජයේ දායකත්වය මෙන් ම මැදිහත්වීම අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබා දීමට නොපැකිළිව ඉදිරිපත්වන බව ද මෙහි දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ය.

මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා යෝජනාවන් කිහිපයක් ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේ ය.

මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහචීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT