“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අගෝස්තු මාසයේ ජනාධිපති වෙනවා කියලා රාජිත සේනාරත්න කියනවා. දෙසැම්බර් මාසේ සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙනවා කියලා කබීර් හෂීම් කියනවා. මේ අය කුමන අරමුණකින් මේවා කිවුවත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වුණේ අති විශාල ජනවරමකින් බව ඔවුන්ට අමතක වෙලා.” යැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගම්පහ, පිටුවල්ගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ අය ක්‍රියාවට නෙවේ කතාවට නම් දක්ෂයි. ක්‍රියාවෙන් ඒ අයට ජනාධිපති අනුර කුමාර මහත්තයා වගේ ජනහමුවකට යන්නවත්, ජන රැලියක් පවත්වන්නවත් හැකියාවක් නෑ. ආණ්ඩු බලය ලැබුණදා සිට මේ මොහොත දක්වා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ වරප්‍රසාද කප්පාදු කර ගනිමින් ජනතාවට විවිධ සහන දීමට කටයුතු කළා.
වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමට හැකි එකම ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකළ ආකාරයට පමණයි. මොකද එතැනදී ජනතාවට වැරදි නොකරන නායකයෙක්, ජන ජීවිත සුරකින ආණ්ඩුවක් එසේ ගෙදර යැවීමට ජනතාව උත්සාහ නොකරන බව මගේ විශ්වාසයි.
අපි පාර්ලිමේන්තු කැන්ටිමේ තිබු අධික වැයපස අඩු කර ඒක සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා. දේශපාලන නියෝජිතයන්ගේ ආහාර සඳහා වූ වියදම් අඩු කිරීම, ඇමැතිවරුන්ට ලැබුණු ඉන්ධන දීමනා කිහිපය එකක් බවට පත් කිරීම, වාහන දීමනා කප්පාදු කර ගැනීම, ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් වියදම් අඩු කිරීම, ප්‍රභූ ආරක්ෂාව අඩු කිරීම, අහිංසක ජනතාව භීතියට පත්කරමින් ගිනි අවි අතැති විශේෂ කාර්ය බළකාය පුරවාගත් ආමර්ඩ් වාහනවලින් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීම නවතා දැමීම ආදී ජනතාවගේ හිතසුව පිණිස නිහඬ ක්‍රියාකාරකම් බොහෝමයක් ඉටු කළ වත්මන් ආණ්ඩුව පලවාහැරීමට ජනතාව සූදානම් නැති බව මා විශ්වාස කරනවා.”
රාගම සමූහ
කේ. එස්. හැන්නදි