Home » එජාපය අලුතෙන් මාර්කට් කළ යුතුයි – එජාප මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක

එජාපය අලුතෙන් මාර්කට් කළ යුතුයි – එජාප මහනුවර දිස්ත්‍රික් නායක නවීන් දිසානායක

by sachintha
April 30, 2025 1:46 am 0 comment

 

පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය අලුත් විදිහකට මාර්කට් කළ යුතු බව එජාප මහනුවර දිස්ත්‍රික් නායක, හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“එදා ජේ. ආර්., ප්‍රේමදාස, ගාමිණී, ලලිත් රටට කළ සේවය පිළිබඳව වත්මන් තරුණ පරම්පරාව දන්නේ නෑ. ඔවුන් දිනා ගැනීමට අලුත් වැඩපිළිවෙළක් පක්ෂයට අවශ්‍යයි.

රනිල් මේ රට බංකොලොත් තත්ත්වයෙන් මුදා ගත්තා. මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් දර්ශනයක් තිබෙන එකම නායකයා ඔහුයි. පසුගිය ජනපතිවරණයට ඔහු ඉදිරිපත් වුණා. නමුත් අපේ පක්ෂය බෙදිලා හිටපු නිසා රනිල් සජිත් දෙන්නම පරාජය වුණා. ඒකෙන් පාඩමක් ඉගෙන නොගත් නිසා අදත් පක්ෂය බෙදිලා. එජාපය දෙකට කඩලා සජිත් වෙනම ගමනක් යනවා. මේ නිසා ඔහුටත් ජයක් නෑ. අපටත් ජයක් නෑ.

පක්ෂය වැටුණු වෙලාවේ අපත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අය කවදාවත් අමතක කරන්නේ නෑ. අලියා නිසා අපට මේ පාර පිකප් එකක් තිබෙනවා. රනිල් අමුතු ගණයේ දේශපාලනඥයෙක්. හොඳ බුද්ධිමතෙක්. අද එජාපයේ ශාඛා සමිති, බල මණ්ඩලය ක්‍රියාශීලී නෑ. බොහෝ තැන්වල ආසන සංවිධායකවරුන් හරියට පත්කර නෑ. මැතිවරණයෙන් පස්සේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර මේ වෙනස්කම් ටික කරන්න ඕනෙ. ආසනයට හොඳ සංවිධායකවරයෙක් හිටියේ නැත්නම් ඉදිරි ගමනක් නෑ. ටෙලිෆෝන් කට්ටියට කියන්න බෑ අපේ නායකයා ජනාධිපති වුණා කියලා. නමුත් අපට කියන්න පුළුවන් අපේ නායකයා ජනාධිපති වුණා කියලා. මේ රට වැටුණොත් භාර ගන්න ඉන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ.

මහනුවරට මාලිමාවේ මන්ත්‍රීවරුන් නවයක් ඉන්නවා. ඒ අයගේ නම් සමහරු දන්නේ නෑ. තරුණ පරම්පරාව ඉන්නේ ෆෝන් එකේ. මැතිවරණයක් දිනන්න නම් මේ තරුණ ප්‍රජාව දිනාගන්න ඕනෙ. ජේ.ආර්., ප්‍රේමදාස, ගාමිණී, ලලිත් ගැන මේ තරුණයන් දන්නේ නෑ. අපේ රැස්වීමකට වැඩිම වුණොත් 15,000ක් එයි. මම තත්පර තිහක ටික්ටොක් එකක් දැම්මා. ඒක එක්ලක්ෂ පහළොස්දාහක් බලලා. මේක තමයි අලුත් තත්ත්තවය. එජාපය අලුත් විදිහකට මාර්කට් කළ යුතුයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT