Home » පළාත් පාලන ආයතනවලට බලපෑම් කරන්න විධායකයට බැහැ

පළාත් පාලන ආයතනවලට බලපෑම් කරන්න විධායකයට බැහැ

-මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

by sachintha
April 30, 2025 1:46 am 0 comment

පළාත් පාලන පනත අනුව විධායකයට පළාත් පාලන ආයතනවලට බලපෑම් එල්ල කිරීමට නොහැකි බවත්, පළාත් පාලන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.

“පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට වඩා සමගි ජන බලවේගයට දැවැන්ත ජයග්‍රහණයක් ගැනීම හැකි වන ආකාරයේ වෙනසක් කෙටි කාලයකදී ඇතිවී තිබෙනවා. එය දැනෙන ලෙස වෙනස් වෙලා තිබෙනවා.

පළාත් පාලන ආයතන පවතින ආණ්ඩුව යටතේම තිබිය යුතුයි කියලා නියමයක් නෑ. උදාහරණයක් විදිහට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පාලන කාලයේදී, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී කොළඹ මහ නගර සභාවේ බලය හිමිවී තිබුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂයට නෙවෙයි විරුද්ධ පක්ෂයට.

පළාත් පාලන පනත අනුව ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට, මහ නගර සභාවලට මූල්‍ය බලය තිබෙනවා. මෙවැනි ප්‍රකාශ හරහා ජනාධිපතිවරයා නැවත උත්සාහ කරන්නේ ජනතාව රවට්ටන්න. නමුත් පළාත් පාලන පනත අනුව විධායකයට පළාත් පාලන ආයතනවලට බලපෑම් එල්ල කිරීමට හැකියාවක් නෑ. පළාත් පාලන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබෙන මොහොතක රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් මරා දමන තත්ත්වයකට අද රට පත්වෙලා. ඩෑන් ප්‍රියසාද් කියන පුද්ගලයා සහ සමගි ජන බලවේගය සිටින්නේ දේශපාලන මත දෙකක. නමුත් ඔහුටත් අයිතියක් තිබෙනවා ඔහුගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න. ඒ අයිතිය හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හානියක් සිදු වෙනවා කියලා මරා දැමීමට කිසිම පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට අයිතියක් නෑ. ආණ්ඩුව ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දෙනවා කියලා. නමුත් රටේ ජනතාවට සිදු වෙලා තිබෙන්නේ දිනෙන් දින මරා දමන පිරිස කීයක්ද කියලා ගණන් කිරීමට. රට තුළ ඇතිවී තිබෙන ඝාතන රැල්ල පිළිබඳව අවධානය යොමු කර ජනතාවට ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක්. ජනතාව අද දැඩි සැකයකින් තමයි ජීවත් වෙන්නෙ..”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT