“පළාත් පාලන මැතිවරණයට අපගේ පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් වැඩි සංඛ්‍යාවක් පත් කරගැනීමට ජනතාව කටයුතු කරන්න ඕනෙ. එසේ පත් කර ගත්තොත් තමයි, මුස්ලිම් ජනතාවට මෙන්ම එම ජනතාව වෙසෙන ප්‍රදේශවලට බලපාන පොදු ප්‍රශ්නවලට නිසි විසඳුමක් ගැනීමට පළාත් පාලන ආයතනවලින් හඬක් නඟන්න හැකි වන්නේ.” යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ, ඉකුත්දා (27) බියගම ආසනයේ උලහිටිවල සහ යටිහේන ප්‍රදේශවල පැවැති ජනහමුවලදීය.
එම පක්ෂයේ බියගම ආසන ප්‍රධාන සංවිධායක, බියගම ප්‍රාදේශීය සභා අපේක්ෂක, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.එන්.එම්. ඉර්ෂාඩ් මහතා විසින් මේ ජනහමු සංවිධාන කරන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“මේ සමන්තුරේ ප්‍රාදේශීය සභා මැතිවරණයට අපේ පක්ෂය තනියෙන් ඉදිරිපත් වී සිටිනවා. එහෙම අපි ඉදිරිපත් වුණේ අපට විශිෂ්ට ජයක් ලබා ගන්න හැකි නිසයි. එයට සමගි ජන බලවේගයත් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් අපි අපගේ පක්ෂයට පමණක් ඡන්දය දෙන්න කියලා සමන්තුරේ ජනතාවගෙන් ඉල්ලුවා. එය සමගි ජන බලවේගයට විරුද්ධව කළ ප්‍රකාශයක් නෙමෙයි. එම ප්‍රකාශය ගැන වැරදි අවබෝධයක් ජනතාවට දෙන්න ඇතැමුන් උත්සාහ කරනවා. එයින් අපේ පක්ෂය සහ සමගි ජන බලවේගය අතර මතභේදයක් ගොඩනඟන්න ඔවුන් උත්සාහ කරනවා. එය අපි හෙළා දකිනවා.
කිසිම විටෙක සහෝදර පක්ෂයක් වන සමගි ජන බලවේගය අපහසුතාවට පත් කරන්න හෝ හානියක් සිදු කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජයග්‍රහණය කරන්න අපි විවිධ උපක්‍රම යොදා ගන්නවා. මෙය එක් උපක්‍රමයක්.
මේ පළාත් පාලන මැතිවරණයට අපේ පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් වැඩි සංඛ්‍යාවක් පත් කරගැනීමට ජනතාව කටයුතු කරන්න ඕනෙ. එසේ පත් කර ගත්තොත් තමයි මුස්ලිම් ජනතාවට මෙන්ම එම ජනතාව වෙසෙන ප්‍රදේශවලට බලපාන පොදු ප්‍රශ්නවලට නිසි විසඳුමක් ගැනීමට හැකි වෙන්නේ. ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට වඩා අප පක්ෂයට හොඳ ප්‍රතිචාරයක් දැන් ගම් මට්ටමින් ලැබී තිබෙනවා. ඒ බව විවිධ ප්‍රදේශවලට ගියාම අපට පැහැදිලිවම පෙනී යනවා. එය අපට සතුටට කරුණක්. මේ මැතිවරණයට අපි ඉදිරිපත් කර තිබෙන්නේ ගම ගැන මනා දැනුමක් තිබෙන, ගමට වැඩ කළ හැකි දක්ෂයන් පිරිසක්. ඔවුන් ගැන විශ්වාසය තබන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ”
මල්වාන සමූහ මහානාම විතානගේ සහ දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති