ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ ලේකම් එල්.ඩබ්ලිව්.එල්.කේ. ධර්මසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කොට ඇති බව බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්. සදීකා මහත්මිය සඳහන් කරයි. මේ පිළිබඳව ලේකම්වරිය විසින් ලිඛිතව ජා-ඇළ ප්‍රාදේශීය සභාව දැනුම්වත් කර ඇත.
සභාවට බදු මුදල් ගෙවන ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි විරෝධය නොතකා සභාවට අයත් ගරාවැටුණ තෙමහල් ගොඩනැඟිල්ලක රුපියල් ලක්ෂ ගණනක සභාවේ මුදල් වැයකොට කැලඩින් ගැසීමේ අත්තනෝමතිකව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ චෝදනව මත විමර්ශන කටයුතු කරගෙන යන අතරතුර බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් මෙම තීරණය ගෙන ඇත.
ලේකම්වරයාට එරෙහිව දිගින් දිගටම ලැබෙන පැමිණිලි සහ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය අනුව මූලික විමර්ශනයකට යටත්ව සේවයේ අවශ්‍යතාවය මත ලේකම්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි නිත්‍ය සේවා ස්ථානයක් ලබා දෙන තෙක් බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව ස්ථාන මාරු කළ බවත් මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය ලැබී ඇති බවද අමාත්‍යාංශ ලේකම්වරිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් පවසා සිටියේ,
“ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අතිවිශාල මහජන විරෝධයක් මධ්‍යයේ තම හිතුමතේට ආරම්භ කළ අදාළ ව්‍යාපෘතිය සඳහා සභාවේ මුදල් ලක්ෂ 350කට ආසන්න මුදලක් යොදවා තිබුණා. මේ ව්‍යාපෘතියට එරෙහිව ඉතාම සාධාරණ කාරණා මත ගොඩනැඟුණ ජනතා උද්ඝෝෂණ පවා පැවතුණා.
මෙම ගොඩනැඟිල්ලේ අලංකරණයට මුදල් වැය කිරීමට පෙර දිරාගිය ගොඩනැඟිල්ලේ සැකිල්ලේ ශක්තිමත්භාවය මෙන්ම එහි මේ වන විට පවතින විශාල අඩුපාඩුකම් ගැන සැලකිලිමත් විය යුතුයි.
ප්‍රාදේශීය සභාවට සභිකයන් පත්වී නොමැති අවස්ථාවක ආසනයේ මහජන නියෝජිතයා විදියට මේ සැකසහිත ව්‍යාපෘතිය පිළිබඳව ආණ්ඩුකාරතුමා සහ ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීම මගේ වගකීමක් හා යුතුකමක් වනවා.”
ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ නව ලේකම් තනතුරට පෑලියගොඩ නගර සභාවේ ලේකම් කේ. තරංගා ගම්ලත් මහත්මිය මේ වන විට පත්කොට ඇත.
ජා-ඇළ විශේෂ – තිස්ස කොඩින්කඩුව