Home » අකුණුසර වැදී විදුලි පරිපථය බිඳවැටී මීරිගම රෝහලේ දන්ත ඒකකයේ කටයුතු ඇනහිටී

අකුණුසර වැදී විදුලි පරිපථය බිඳවැටී මීරිගම රෝහලේ දන්ත ඒකකයේ කටයුතු ඇනහිටී

by sachintha
April 30, 2025 1:22 am 0 comment

විදුලි පද්ධතිය හදිසි අලුත්වැඩියාවකට ලක් නොකිරීම නිසා මීරිගම මූලික රෝහලේ දන්ත ඒකකයේ කටයුතු මසකට ආසන්න කාලයක සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි රෝගීහු පවසති.

සිංහල අලුත් අවුරුද්දට පෙර අකුණු සැරක් වැදීම හේතුවෙන් විදුලි පරිපථයේ බිඳවැටීමක් සිදු වී ඇත. ඒ සම්බන්ධයෙන් වතුපිටිවල රෝහලේ විදුලි අංශයෙන් පරීක්ෂාවක් කර ඇතැයිද, අකුණු සැර වැදී පිලිස්සුණු විලායකය යළි සවි කිරීමට රුපියල් දස දහසක පමණ මුදලක් යනු ඇති බව දන්වා ඇතැයිද, මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රෝහල් බලධාරින්ගෙන් දැන ගන්නට ලැබිණි.

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය දැනුම්වත් කිරීමෙන් පසු බස්නාහිර පළාත් ඉංජිනේරුවරිය පැමිණ පරීක්ෂාවට ලක් කර ඇති අතර, මෙය අලුත්වැඩියා කිරීමට නිසි ක්‍රමවේදය යටතේ ටෙන්ඩර් කිරීමට පියවර ගන්නා බවත්, ඒ අන්දමින් කටයුතු කර අලුත්වැඩියාව කරන්නට මාස දෙක තුනක කලයක් ගතවනු ඇති බවට දැනුම් දී ඇත.

එතෙක් රෝහලේ වෙනත් ගොඩනැඟිල්ලකින් තාවකාලිකව රැහැන් මඟින් විදුලිය ලබා ගැනීමද නොකරන ලෙසට උපදෙස් දී ඇති හෙයින් දන්ත සායනයේ කිසිදු සේවාවක් කරන්නට හැකියාවක් නැති බව එම ඒකකයෙන් කළ විමසීමේදී දැන ගන්නට ලැබිණි.

පුවත්පත් දැන්වීම් පළ කර ටෙන්ඩර් කිරීමෙන් පසු පමණක් අලුත්වැඩියාව කළ යුතු අතර, ඒ හැර වෙනත් ක්‍රමයක් මඟින් විදුලිය සැපයීම නොකළ යුතු බවටද උපදෙස් දී ඇති හෙයින් රෝගීන් සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නැතැයිද ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් තමන්ට බැණ සාප කරමින් පිටව යන බවද දන්ත ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධව ගම්පහ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික් කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි නිලධාරිනියක සඳහන් කළේ, විධිමත් අන්දමින් ටෙන්ඩර් කර දන්ත ඒකකයේ විදුලිය සැපයීමට පියවර ගන්නා බවයි. එහෙත් මේ වන තුරුත් ටෙන්ඩර් කිරීමට පියවර ගෙන නැතැයිද එම නිලධාරිනිය සඳහන් කළාය.

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්ප කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT