ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් අධි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් යටියන්තොට ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇති බව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය පවසයි.
ප්‍රාදේශීය සභා කාර්යාලය, මහජන පුස්තකාලය, නයිටා ආයතනය හා නිවෙසක් මෙසේ අධි අවදානමකට ලක්වී ඇත්තේ එයට ඉහළින් ඇති කන්දේ සිට මේ වන විට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙනි.
ආපදා සහන සේවා නිලධාරී රොහාන් චතුරංග මහතා පැවසුවේ, මේ වන විට කඳු මුදුනේ ගල් කීපයක් ගැලවී ඇති අතර, මේ සම්බන්ධව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පර්යේෂණ සිදු කර අධි අවදානමක් පවතින බවට වාර්තාවක් ලබා දී ඇති බවයි.
මේ ආසන්න කන්දේ පදිංචි පී.ඩබ්ලිව්. පොඩිමැණිකේ මහත්මිය මෙසේ පැවසුවාය.
“වැස්ස දවසක අපේ ළමයින්ට ඇහිල තියෙනව විශාල ශබ්දයක් එක්ක ගල් ගැලවෙනව. පහළ ගෙදර හිටිය දිසානායකලට අයින් වෙන්න කියල තියෙන්නෙ. දරුවො තුන් දෙනෙක් ඉන්නව. රෑට අපේ ගෙදර නිදාගන්නෙ. ඉක්මනින් විසඳුමක් දෙනව නම් හොඳයි.”
මේ අතර මහජන පුස්තකාලය භාවිත කරන බොහෝ පිරිසක් පැවසුවේ මේ හේතුවෙන් තමන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි.
මේ පිළිබඳ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක මහත්මියගෙන් අප කළ විමසීමකදී එතුමිය පැවසුවේ ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම ස්ථානය ස්ථාවර කිරීමට නියමිත බවත් අදාළ කටයුතු සඳහා කෑගල්ල කච්චේරිය හරහා මේ සඳහා කටයුතු සිදු කර ඇති බවයි.
යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක