Home » සංචාරක නගර පිවිසුම අශෝභන කරන ස්ප්‍රිංවැලි කසළ බක්කිය

සංචාරක නගර පිවිසුම අශෝභන කරන ස්ප්‍රිංවැලි කසළ බක්කිය

by sachintha
April 30, 2025 1:30 am 0 comment

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩා නගර අතරින් සංචාරක ආකර්ෂණය දිනාගත් නගරයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින ස්ප්‍රිංවැලි නගරයට පිවිසෙන ස්ථානයේම පිහිටි කසළ බක්කියට ඇතැම් පිටස්තර පිරිස් විසින් අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කිරීම නිසා ගැටලු රැසක් උද්ගත වී ඇතැයි පෙන්වා දෙන ප්‍රදේශවාසීහු නගරයට පිවිසීමේදීම අප්‍රසන්න දසුනක් ඇති කරන කසළ බක්කිය වෙනත් සුදුසු තැනක ස්ථාපිත කිරීමට හෝ එය විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදේශයේ ගම්මාන හා වතු ආශ්‍රිත විශාල ජනතාවක් සිය ආසන්නම නගරය ලෙස ප්‍රයෝජනයට ගන්නා ස්ප්‍රිංවැලි ප්‍රදේශය, ඇල්ල සංචාරක කලාපයට සම්බන්ධ කොට සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත කුඩා නගරයක් වුවද මෙතෙක් එහි මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වී නොමැත. එසේම බදුල්ල දෙසින් ස්ප්‍රිංවැලි ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ නගර සීමාවට පිවිසෙන ස්ථානයේම දීර්ඝ කාලයක සිට පවත්වාගෙන යන කසළ බක්කියට මේ වන විට විශේෂයෙන් නගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශවල පිරිස් විසින් අවිධිමත් ලෙස විශාල වශයෙන් කැළි කසළ බැහැර කිරීමක් සිදු කරයි. රිළවුන්, බල්ලන්, කපුටන් වැනි සතුන් එම කසළ ඇද දැමීම හා තැන් තැන්වලට රැගෙන යාමත් නිසා එම ස්ථානය නගරයට අප්‍රසන්න දසුනක් සේම සෞඛ්‍යමය ගැටලු ඇති කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුප්පයියා ත්‍යාගරාජා මහතා:

“මේ කසළ බක්කිය පවත්වාගෙන යන්නේ හාලිඇළ ප්‍රාදේශීය සභාවෙන්. සභා සේවකයින් සතියකට වරක් පමණ මෙහි රැස්වන කසළ රැගෙන යනවා. ඒ කාලෙත් මෙය මේ ස්ථානයේ තිබුණා. නමුත් මෑතක සිට මේ කසළ බක්කිය අවට මුළු පරිසරයම කසළ ගොඩක් බවට පත්වී මේ ස්ථානය ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් බවට පත්ව තිබෙනවා. සභාවට විතරක් නොවෙයි, මෙතැනට කසළ දමන ජනතාවටත් වගකීමක් තිබෙනවා මෙය විධිමත්ව භාවිත කරන්න. මොකද මෙයින් පීඩාවට පත්වන්නේ සභාවේ නිලධාරීන් නෙවෙයි අවට ජනතාව නිසා. නගරවාසීන් හා නගරයේ වෙළෙඳ ප්‍රජාව පවසන්නේ මෙතරම් කසළ ගොඩක් නගරයෙන් එක්රැස් නොවන බවයි. මේ ස්ථානයට පිටතින් කසළ ගෙනත් දමන පුද්ගලයින් කසළ බක්කියෙන් පිටතට කසළ දැමීම නිසා මේ ප්‍රශ්නය ඇතිවී තිබෙනවා.”

ආර්.එම්. රූපසිංහ මහතා:

“මේක අවුරුදු ගණනාවක් තිස්සේ තිබෙන කසළ බක්කියක්. ඒ කාලේ එතරම් ජනගහනයක් නොවීමත් සංචාරකයින් ඇතුළු පිටස්තර පිරිස් එතරම් නොපැමිණීමත් නිසා මෙය එතරම් ගැටලුවක් වුණේ නෑ. හැබැයි දැන් බොහෝ සංචාරකයින් වගේම පිටස්තර පිරිස් මේ ප්‍රදේශයට එන නිසා මේ ස්ථානයේ කසළ බක්කියක් තිබීම සුදුසු නෑ. ඒ නිසා මේ කුණු බක්කිය වෙනත් සුදුසු තැනකට ගෙන යන ලෙසත් එතෙක් මෙය මාර්ගයෙන් ආවරණය වන ලෙස හා කසළ බක්කිය තුළට සතුන්ට ඇතුළු විය නොහැකි ලෙස යම් ක්‍රමවේදයක් යොදන ලෙසත් හාලිඇළ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පහුගිය රජයන් වගේම වර්තමාන රජයේත් ඉලක්කයක් වන්නේ මේ ස්ප්‍රිංවැලි කුඩා නගරය ඇල්ල සංචාරක කලාපයට සම්බන්ධ කොට සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කිරීම. දැනටත් විදෙස් සංචාරකයින් මේ ප්‍රදේශයේ විවිධ ස්ථාන බලන්න වගේම මේ ප්‍රදේශයේ පරිසරය අත්විඳිමින් ඇවිදින්න ස්ප්‍රිංවැලි කුඩා නගරයට එනවා. ඒත් මෙවන් ගැටලු නිසා ඒ අය තවත් වරක් මේ ප්‍රදේශයට එන්න හිතන්නේවත් නෑ. ඒ නිසා මේ කසළ ප්‍රශ්නයට වෙනත් විධිමත් හා සාර්ථක විසඳුමක් ලබාදෙන්න ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි අප හාලිඇළ ප්‍රාදේශීය සභාව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.”

මාඩසාමි ශ්‍රීදේවි මහත්මිය:

“අපි ස්ප්‍රිංවැලි වත්තේ පදිංචිකරුවන්. මේ කසළ ගොඩට ඉහළින් අපේ නිවාස තියෙන්නේ. දැන් මෙතැන වටේ හැමතැනම කුණු කසළ තියෙන නිසා මැස්සන් බෝ වීම වැඩියි. කපුටන් බල්ලන් මේ කුණු අරන් ගිහින් අපේ වහලවල්වල මිදුල්වල දානවා. ගෙදර කෑමක් බීමක්වත් තියන්න බෑ මැස්සො වහනවා. ඒ නිසා අපේ ළමයින් වගේම වයසක අය නිතර ලෙඩ වෙනවා. මේක මෙතැනින් අයින් කරලා ගෙවල් අඩු තැනක තියනවා නම් ලොකු උදව්වක්.”

මේ සම්බන්ධයෙන් විමසීමේදී හාලිඇළ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ.ජේ. බැද්දෙවිතානගේ මහතා මෙසේ පැවසීය:

“මෑත කාලයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ කසළ ප්‍රශ්නය බරපතළ ලෙස මතුවීමට හේතු කීපයක් තිබෙනවා. දැනට දශක ගණනාවකට පෙර ඉදිකර ඇති මෙම කසළ බක්කිය ඒ කාලයේ ජනගහනය විදිහට ප්‍රමාණවත් වුණත් අදට එය ප්‍රමාණවත් නෑ. ඒ වගේම අද වන විට බොහෝ අය අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමත්, ප්‍රදේශයේ රිළා ගහනය වේගයෙන් වර්ධනය වීමත් තව හේතුවක්. ඒ වගේම පිටස්තර ජනතාව මෙම ස්ථානයට අවිධිමත් ලෙස විශාල වශයෙන් කසළ බැහැර කරන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස මෙම කසළ බක්කිය තුළට සතුන්ට පිවිසිය නොහැකි ලෙස පිළිසකර කිරීමටත් ඉන් මාර්ගයට හෝ ජනතාවට බලපෑමක් නොවන ලෙස එය ආවරණය කිරීමටත් අප ඉතා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා. ඊට අමතරව කසළ බැහැර කිරීම පිළිබඳව මේ වන විට හාලිඇළ නගරයේ ප්‍රදර්ශනය කර ඇති ආකාරයේ දැනුම්වත් කිරීමේ පුවරු එම ප්‍රදේශයේද ප්‍රදර්ශනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. එසේ වුවත් තමන්ගේ කැළි කසළ තවත් කෙනෙකුට කරදරයක් නොවන ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව සහ ඉඩකඩ ඇති ජනතාව හෝ එසේ කරනවා නම් එය අපට මෙන්ම සෙසු ජනතාවටත් දක්වන විශාල සහයෝගයක් බවත් සඳහන් කළ යුතුයි.”

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT